WELCOME YOU.

Saturday, July 18, 2020

ව්‍යවස්ථාව වෙනස් නොකළොත් රටට ඉදිරි ගමනක් නැහැ-Dinamina Article Published on July 04 2016

ව්‍යවස්ථාව වෙනස් නොකළොත් රටට ඉදිරි ගමනක් නැහැ Monday, ජූලි 4, 2016 - 01:00 පුබුදු සපුතන්ත්‍රි තුෂාර ප්‍රනාන්දු විශේෂාංග නීතිඥ බැසිල් ප්‍රනාන්දු දකුණු ආසියානු මානව හිමිකම් කොමිසමේ අධ්‍යක්ෂ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකසා ගැනීමේ කාර්යයේදී අප ඉදිරියේ පවතින ගැටලු සහ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් පවතින විවේචන පිළිබඳ දකුණු ආසියානු මානව හිමිකම් කොමිසමේ අධ්‍යක්ෂ නීතිඥ බැසිල් ප්‍රනාන්දු සමඟ කළ සාකච්ඡාවකි. * රටට අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය බව ඔබ දකින්නේ කොහොමද? අපට ව්‍යවස්ථාවක් කියලා එකක් නමට තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදීව ඒත් පිළිගන්න හැකියාවක් නෑ. ඒ නිසා ඇත්තටම අපට ව්‍යවස්ථාවක් නෑ කියන එකයි මගේ පිළිගැනීම. හැබැයි ව්‍යවස්ථාවක් අලුතින් ගේනවා කියන්නේ තවත් පොතක් ලියනවා නොවෙයි. මේ නව ව්‍යවස්ථාවෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම මේ රටේ පාලන තන්ත්‍රයේ ප්‍රධාන නිර්නායක ලෙස පත්කළ යුතුයි. * ඔබ සිතන ආකාරයට අප රටේ පවතින ව්‍යවස්ථාව මෙවැනි තත්ත්වයකට පත්වුණේ ඇයි? අපේ ව්‍යවස්ථාවට 1972 දී කරන ලද වෙනස්කම් හා 1978 දී කරන ලද වෙනස්කම් මෙයට බලපෑවා. විශේෂයෙන් 1978 ව්‍යවස්ථා සංශෝධනය මගින් අප රටේ ප්‍රජාතන්ත්‍රවාද අහිමි වුණා. ප්‍රජාතන්ත්‍රවාදී රටක ව්‍යවස්ථාවක් තියෙන්නේ ඒ ප්‍රජාතන්ත්‍රවාදය ඉහළම මට්ටමින් ආරක්ෂා කර දෙන්න. එය රටක උපරිම නීතිය ව්‍යවස්ථාවෙන් කෙරෙන්නේ කෙනෙකුට නීතියට අතපෙවීමට ඇති ඉඩ ඇහිරීම මේ රටේ ව්‍යවස්ථාව තුළින්ම ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙලා. * 1978 ව්‍යවස්ථාව සංශෝධනය මගින් ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වූ ආකාරය ගැන පැහැදිලි කළොත්? 78 සංශෝධයෙන් රටේ නීතිය හැටියට ක්‍රියාත්මක වෙන්නට ඇති හැකියාව නැති කළා. නීතිය පදනම් වෙලා තියෙන්නේ නීතිය මත පාලනය කියන සංකල්පය මතයි. පාලනය සමස්ත වශයෙන්ම නීතිය මත තිබිය යුතුයි. නීතිය සාධාරණ විය යුතුයි. අසාධාරණ නීති ක්‍රියාත්මක කරනවිටත් ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වෙනවා. ඒ වාගේම රටක පවතින නීතිය සාධාරණ වූවත් ඒවා ක්‍රියාත්මක නොවීම තුළත් ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වෙනවා. * ඔබ කියන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළ පමණින්ම රටක නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ කියන එකද? ඔව්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් වුණා කියලා නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ. වචනවලින්ම නැතිකරලා දැම්මොත් කොහොමත් නෑ. අප රටේ ඔය දෙකම කෙරුණා. ව්‍යවස්ථාවේ ඇතැම් කරුණු වචනයෙන් වචනය වගන්තියෙන් වගන්තිය අරන් දැම්මා. ඉතිරි ටික වචනවලට පමණක් සීමාවුණා. * ඔබ ඔය සඳහන් කරන ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික පදනම් මොනවාද? නීතියේ පදනම මත පාලනය, බලය සමානව බෙදීම මෙහිදී ප්‍රධාන වෙනවා. අධිකරණය ව්‍යවස්ථාදායකය හා විධායකය යන කාරණා තුනටම සමාන බලතල ලබාදිය යුතුයි. මින් එක ආයතනයක වරදක් සිදුවූ විට අනෙක් ආයතනවලට එය පාලනය කිරීමට හැකියාව හිමිවිය යුතුයි. එහිදී බල තුලනයක් ඇතිවෙනවා. නීතිය ඉදිරියේ සියලුදෙනාම සමානයි කියන මුලධර්මය ඉතා වැදගත්. එය බැහැරකොට පාලනයක් ක්‍රියාත්මක වෙනවා නම් එය තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදී රජයක් වන්නේ නෑ. රටේ සියලු පුරවැසියන්ගේ නිදහස ආරක්ෂා කළ යුතුයි. සමාජ සාධාරණය තිබිය යුතුයි. මේවා ප්‍රජාතන්ත්‍රවාදයේ මුල්ගල ලෙස හැඳින්වූවාට වරදක් නෑ. රටක ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වෙන්නේ මේ මුල්ගල් මතයි. මින් එකක් හෝ එහාට මෙහාට කළොත් ප්‍රජාතන්ත්‍රවාදය බිඳ වැටෙනවා. * පවතින ව්‍යවස්ථාව රටවැසියා පීඩාවකට පත්කරනවා යන කාරණය ඔබ දකින්නේ කොහොමද? මෙම ව්‍යවස්ථාවෙන් මම පෙර කිව්ව වගේ නීතිය මත පාලනය කියන මූලධර්මය අරන් දැම්මා. බලය බෙදාහැරීම කියන එක අරන්දාලා අධිකරණය බලය නැති කළා. ඒ හේතුවෙන් අසමාන අන්දමින් විධායකය බලවත් වුණා. බලතුලනය නැතිවුණා. රටේ ව්‍යවස්ථාදායකය අධිකරණය සතු බලය ඉක්මවා යන අන්දමට විධායකය ශක්තිමත් වුණා. නීතිය මත පාලනය නැතිවූ විට සමානාත්මතාව තියෙන්න බෑ. එවිට ක්‍රියාත්මක වෙන්නේ බලය මත බලයයි. එහි ප්‍රතිඵලය විදිහට හයිය හක්තිය තියෙන අය දුබලයාව පාගා දමනවා. මෙය ඕනෑම රටකට සමාජයකට පොදු ලක්ෂණයක්. හදිසි නීතිය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි අණපනත්වලින් ජනතාව පීඩනයකට පත්කරනවා. රටේ ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය වෙනවා මාධ්‍ය නිදහස. අත්අඩංගුවට ගැනීමෙන් වැලකී සිටීමට තිබුණු නිදහස, සාධාරණ අධිකරණ ක්‍රියා මාර්ගයකින් තොරව දඬුවම් කරන්න බැරිය කියන අදහස මේ සියල්ල මේ රටේ ජනතාවට අහිමි වෙනවා. * නව ව්‍යවස්ථාව තුළ ජනාධිපති ධුරය සම්බන්ධයෙන් ඔබේ අදහස? ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ජනාධිපති ක්‍රමයක් තියෙන්න පුළුවන්. අමෙරිකාව ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ජනාධිපතිවරයෙක් ඉන්නවා. නමුත් මෙම ජනාධිපති ධුරය පෙර සඳහන් කරපු මූලධර්මයන්ට පටහැනි නොවන ලෙස පත්විය යුතුයි. ජනාධිපති තනතුරට රාජකාරි කිරීම සඳහා සාධාරණ හා නීත්‍යානුකූල අයිතීන් තියෙනවා. ඒක ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි නෑ. මෙතැන තියෙන ප්‍රශ්නය ජනාධිපති මූලික ආණ්ඩුවක්ද අගමැති මූලික ආණ්ඩුවක්ද තියන එක නොවෙයි. නීතියේ ආධිපත්‍යයට උඩින් ජනාධිපතිවරයෙක් හෝ අගමැතිවරයෙක් ඉන්න බෑ. ජනාධිපතිවරයා අධිකරණයට යටත්විය යුතුයි. නීතිය උල්ලංඝනය කළොත් ඔහුටද අධිකරණය ඉදිරියේ කරුණු විමසා දඬුවම් ලබාදීමට හැකිවිය යුතුයි. * අප රටේ බලය බෙදීම කියන කාරණය ඔබ දකින්නේ කොහොමද? පෙර සඳහන් කළ මූලධර්ම ක්‍රියාත්මක නොවී බලය බෙදීම කිසිදිනක සාධාරණය කරන්න බෑ. පෙර සඳහන් කළ නීතිය මත පදනම්ව පාලනය හා බැඳි මූලධර්ම මත බලය බෙදනවානම් කාටවත් අසාධාරණයක් වෙන්නේ නෑ. කවුරුවත් බය වෙන්න ඕනෑ නෑ. බලය බෙදලා දුන්නා වගේ නැවත බලය ලබාගන්නත් ඒ තුළින් හැකියාව ලැබෙනවා. බලය සංකේන්ද්‍රගත කරනවා කියන්නේ කෑලි කෑලිවලට කඩල දාන එක නොවෙයි. දැනුයි රට කෑලි කෑලිවලට කැඩිලා තියෙන්නේ. * වර්තමානයේ රට කෑලි කෑලිවලට කැඩිලා කියලා ඔබ කියන්නේ කොහොමද? දැන් අපි ජාතිවාදී පදනමින් නොවෙයි බෙදිලා ඉන්නේ. රටේ හරිහැටි නීතිය ක්‍රියාත්මක නොවීම නිසා රට කැඩිලා. රටක නීතිය හරිහැටි ක්‍රියාත්මක නොවන විට එකිනෙකාගේ ප්‍රශ්න ඔවුන් විසින්ම විසදගන්න කටයුතු කිරීමත් එක් සංකීර්ණ ප්‍රශ්නයක්. අද අප රටේ තියෙන්නේ නීතියෙන් මධ්‍ය ගත ආණ්ඩුවක් නොවෙයි. නමුත් බොහෝ දෙනා හිතන්නේ විධායක ජනාධිපති ධුරය නිසා මධ්‍යගත භාවය වැඩිවෙලා කියලා. අද රටේ රටේ රාජ්‍යය කියන සංකල්පය නැතිව ගිහිල්ලා. අද රටේ රාජ්‍ය සේවකයන් හිතන් ඉන්නේ ඔහු තනි පුද්ගලයෙක් කියලා මම නියෝජනය කරන්නේ රජය මම රජය ආරක්ෂා කරන්න බැඳී ඉන්න පුද්ගලයෙක් කියලා ඔහුට කිසිදු හැඟීමක් හෝ අදහසක් නෑ ඔවුන් ඔවුන්ට ඕන විදිහට වැඩ කරන්න පටන් අරන්. බලය අක්‍රමවත්ව විසිරිලා. * ෆෙඩරල් පාලන ව්‍යුහයක් තුළ බලය බෙදීමකට ගියහොත් රටේ ඒකීයභාවය අහිමිවේය කියන කාරණය ඔබ දකින්නේ කොහොමද? සංකේන්ද්‍රගත රාමුවක් ඇතුළේ විකේන්ද්‍රනය වීමෙන් කිසිදු හානියක් වෙන්නේ නෑ. අප රටේ ඒකීය රාමුව පළමුව සකස් කළ යුතුයි. ඒ රාමුව තුළ කුමන ආකාරයට බලය බෙදුවත් කිසිවකුට ඒ රාමුවෙන් පිටපනින්න බෑ. යම් පළාතක ප්‍රධානියෙක් ඒ රාමුවෙන් පිට කටයුතු කරනවා නම් ඔහුට විරුද්ධව රටේ නීතිය කිසිදු බාධාවකින් තොරව ක්‍රියාත්මක කළ හැකියි. ලෝකයේ මේ ආකාරයට එකම රටක් තුළ බලය බෙදා රාජ්‍යය පවත්වාගෙන යන රටවල් ලෙස අමෙරිකාව හා අසල්වැසි ඉන්දියාව හඳුන්වා දෙන්න පුළුවන්. අපේ රටේ ෆෙඩරල් ක්‍රමයක් ක්‍රියාත්මක වීම තුළ රටේ ඒකීයභාවය විනාශ වන බවට ජනතාවගේ සිත් තුළ ඇ‍ත්තේ සැකයක්. මොකද මේ රටේ කාලයක පටන් නීතිය නිසිපරිදි ක්‍රියාත්මක වන්නේ නැහැ. එවැනි පරිසරයක් තුළ පාලනයේ සංකේන්ද්‍රගත හැකියාව කැඩුණා. ඒ නිසා බය වෙන එක පුදුමයක් නොවෙයි. හැම කරුණකටම පෙර මේ රටේ නීතිය ක්‍රියාත්මක විය යුතු ඒ නිසා. * උතුරේ මහ ඇමැතිවරයා ලෙස කටයුතු කළ වර්ධරාජා පෙරුමාල්ගේ හැසිරීම් පාලනය කරන්නට හැකිවූයේ විධායක ජනාධිපති බලතල තිබීම නිසා කියලා මතයක් තියෙනවා. විධායක බලතල නැති ජනාධිපතිවරයෙක් ඉදිරියේදී එවැනි සිද්ධීන්වලට මුහුණ දෙන්නේ කොහොමද? ඒක විධායක බලය මත පදනම් වෙන එකක් නොවෙයි. නීතිය මත පාලනය කියන මූලධර්මය මත තියෙන එකක්. නීතිය හා මහ ඇමැතිවරයා පාලනය වෙනවා නම් රටේ පවතින නීතිය කඩන ඕනෑම මොහොතක අදාළ මහ ඇමැතිවරයා ඉවත් කරන්න හා නීතිය ඉදිරියට ගේන්න පුළුවන්. ඔය කියන බලය බෙදීම මැතිවරණ ක්‍රමය සංශෝධනය, ජනාධිපති බලතල සීමාකිරීම ආදිය ගැන කොච්චර කතා කළත් ඵලක් නෑ. ආණ්ඩු ක්‍රමයක් ගැන නොසිතා විභේදනයක් ඇති කළ නොහැකියි. මේ වෙනස නොකර මේ රට ඉදිරියට ගෙන යන්න බෑ. * 19 වැනි සංශෝධනයෙන් යහපාලන ආණ්ඩුව ස්වාධීන කොමිෂන් සභා ඇති කළේ ඔබ ඔය කියන වෙනස කරන්න නේද? 19 වැනි සංශෝධනය කළා කියලා මේ වෙනස කරන්න බෑ. හරියට කිව්වොත් 19 වැනි සංශෝධනය කියන්නේ අනතුරකට පත් වූ අයෙකුගේ ජීවිතය බේරගන්න දෙන ප්‍රථමාධාරයක් වගෙයි. රෝගියා මරණයෙන් ගලවා ගන්න නම් රෝහලකට යා යුතුයි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියන්නේ මේ රටේ පවතින අට අනූවක් ව්‍යාධිවලට රෝහලක් වගෙයි. නමුත් ඒ රෝහලට යන්න මේ රටේ බොහෝ දෙනෙකුට කිසි අදහසක් නෑ. * නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණයේදී ආගම කියන සාධකය ඔබ දකින්නේ කොහොමද? පළමුව මම කියන්න ඕනෑ මම හැදු‍ෙණ් ක්‍රිස්තියානි ආගමික පරිසරයක. නමුත් මම කියන්නේ ලංකාවේ බුද්ධාගම තියෙනවා නම් අපට කිසිදේකට බයවෙන්න දෙයක් නෑ. මේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බුදුදහම පදනම් කරගෙන නිර්මාණය කරනවා නම් එය මේ රටේ හැමදෙනාගේම සැනසුමට හේතුවක් වේවි. නමුත් වර්තමානයේ ලංකාවේ නියම බුදුදහම නැති එකයි ප්‍රශ්නෙ. ලංකාවේ බුදුදහම තිබුණා නම් කාටත් හොඳින් ජීවත් වෙන්න පුළුවන්. * නිර්මල බුදුදහම තියෙන රට ශ්‍රී ලංකාව කියන එක ලෝකයේම පිළිගැනීමයි. ඔබ කුමන පදනමක් මත සිටද ලංකාවේ බුදුදහම නෑ කියන ප්‍රකාශය කරන්නේ? ශ්‍රී ලංකාවේ අද තියෙන්නේ එදා ධර්මාශෝක යුග‍ෙය්දී මිහිඳු හිමියන් ගෙනා නිර්මල බුදුදහම නොවෙයි. දැන් බුදුදහම කියා ඇත්තේ අධිසංකර්ගේ ආගමයි. 8 වැනි සියවසේ පහළ වන අධි සංකර් නමැත්තා ඉන්දියාවේ බුදුදහම සම්පූර්ණයෙන් නැති කර දැමීමට මුල්වුණා. ඔහුට ඕන වුණේ බ්‍රාහ්මන ආගම පෙරට ගන්නයි. මේ පුද්ගලයා බොහෝ ඇසූ පිරූ තැන් ඇති පඬිවරයෙක්. ඔහු ඔහුගේ දැනුම උපයෝගී කොටගෙන පැවැති නිර්මල බුදුදහම අවුල් කර ඉදිරිපත් කරන්නට කටයුතු කළා. ඔහු ඒ ඔස්සේ හැදුවා නව දර්ශනයක්. 8 වැනි ශත වර්ෂය වනවිට ඔය දර්ශනය මෙහාටත් ගලා එන්න පටන් ගත්තා. මම මේ කියන කාරණය මාර්ටින් වික්‍රමසිංහ මහතා මුල් කාලයේදීම කිව්වා. අට වැනි හා නවවැනි ශත වර්ෂ අතර අප රටේ ශිෂ්ටාචාරය කඩාගෙන වැටුණා. අට වැනි ශතවර්ෂයට පෙර අප රටේ කුල ක්‍රමය තිබුණේ නෑ. නිර්මල බුද්ධ දර්ශනය අනුව කුලවලට මිනිස්සු බෙදන්න බෑ. නමුත් සංකර්ගේ දර්ශනයේ බලපෑම නිසා අප රටේත් කුල ක්‍රමය පෙරට ආවා.

No comments:

Post a Comment