WELCOME YOU.

Sunday, July 19, 2020

සංහිඳියාව හා ස්වයංවිවේචනය ​බැසිල් ෆ්රනාන්දු විසිනි -Published on Nov07,2016.

සංහිඳියාව හා ස්වයංවිවේචනය ​බැසිල් ෆ්රනාන්දු විසිනි.​ නොවැ 07 2016 01:12 විශේෂාංග Tags: වැලි මලුව දීර්ඝ කාලීන මර්දනයක් සහිත කාල පරිච්ඡේදවල ජීවත් වන ජනතාව නිරන්තයෙන්ම, තම සමාජය තුළ හා තමන් අවට සිදු වන දේවල් නෑසෙන්නා හෝ නොපෙනෙන්නා සේ සිටිය හැකි මනෝ විද්‍යාත්මක සහ සංස්කෘතික පුරුදු ඇති කර ගනිති. මෙකී මනෝ විද්‍යාත්මක පුරුදු ජනතාවට අසීරු කාලවල දී නොනැසී සිටින්නට උදව් කරනවා විය හැකිය. කෙසේ නමුත් දුෂ්කර කාලය පසු කිරීමෙන් අනතුරුව පවා ජනතාව එහිම ගැලී සිටින අතර, සිය සමාජයන් හි සිදුවන වැරදි දේවල් සැබවින්ම නොදුටු බව බොරුවට අඟවමින් ජීවත් වෙති. හැම දෙයක්ම හොඳින් සිදු වනවාය යන හැඟීම ඇති කර ගැනීම, යම්කිසි ආකාරයක ප්‍රකෘති සිහියක් පවත්වා ගැනීමේ සහ සතුටින් සිටින බව සිතාගෙන ජීවත් වීමේ මඟක් විය හැකිය. ශ්‍රී ලංකාව අතිශය මර්දනකාරී තත්ත්ව යටතේ දීර්ඝ කාල පරිච්ඡේදයක් පසුකළ සමාජයකි. 8 වන සියවසේ පටන් ඇතැම් විට විදේශීය ආක්‍රමණ හේතුවෙන් සහ තවත් විටෙක ශ්‍රී ලාංකේය සමාජය තුළම වර්ධනය වූ සමාජයීය ආයතන හේතුවෙන් ද ශ්‍රී ලංකාවට තිබෙන්නේ දීර්ඝ මර්දනකාරී ඉතිහාසයකි. මෙකී මර්දනය විසින් ජනතාවට එරෙහිව සිදුවන බරපතළ අයුක්තීන් නොදැක්කා සේ සිටීමේ පුරුද්දක් ශ්‍රී ලාංකිකයන් අතර ඇති කර තිබේ. මේ ගැටලූ ජනතාවට ඉතා සමීප ලෙස සිදු වන දේවල් වුවත්, තමන්ට අභ්‍යන්තරික වශයෙන් දැඩි ලෙස ප්‍රශ්නකාරී ඒවා වුවත් නිශ්ශබ්දතාවය ම පවත්වාගෙන යාමට ඔවුන් පෙළඹී තිබේ. මෙය අසාමාන්‍ය හෝ යම් විශේෂිත ජනවර්ගයක් තුළ තිබෙන තත්ත්වයක් නොවේ. ජාතිය, ස්ත්‍රී පුරුෂ භාවය සහ සෙසු වෙනස්කම් නොතකා ශ්‍රී ලංකාව පුරාම පැතිර තිබෙන තත්ත්වයකි. අප මේ පිළිබඳ ඉතිහාසය සොයා බලන විට අපට පෙනී යන්නේ 08 වන සියවසෙන් පසු ශත වර්ෂ කිහිපය තුළ දැවැන්ත විපරිවර්තනයක් සිදු වී තිබෙන බව ය. ඒ, මේ කාලය තුළ ඇති වූ ඉන්දියානු ආක්‍රමණ සමඟම හටගත් සංස්කෘතික ආක්‍රමණ ද හේතුවෙනි. ශ්‍රී ලංකාවේ මුල් කාලීන සමාජය තුළ, එනම් 03 වන සියවසේ පටන් 05 වන සියවස දක්වා කාලය, එකළ සිටි බලවත්ම පාලකයා වූ අසෝක ගේ පණිවුඩකරුවා ලෙස පැමිණි මිහිඳු හිමිගේ ආගමනයත් සමඟ ශ්‍රී ලංකාවට අසෝක ප්‍රතිපත්තිවලින් දැඩි බලපෑමක් ඇති විය. අසෝක යුක්තිගරුක රජ කෙනෙක් බවට පත් කිරීමත්, ශ්‍රේෂ්ඨ සාධාරණත්වයක් ඉල්ලා කෑ කෝ ගසන ප්‍රබල සමාජ ව්‍යාපාර පවතින සමයක, අතීත ඉන්දියාවේ මුල්බැසගෙන තිබූ දුෂ්ට කුල ක්‍රමයට එරෙහිව අති දැවැන්ත අධිරාජ්‍යයක් පාලනය කිරීමට සමත් වූ අසෝකගේ දර්ශනවාදී සහ දේශපාලනික දෘෂ්ටිය පිළිබඳ ඉන්දියාව තුළ දැවැන්ත පර්යේණයක් සිදු වෙමින් පවතී. මෙහි දී ඉහළම ප්‍රමුඛතාවය ලබා ගැනීම සඳහා සදාචාරාත්මක ප්‍රමිතීන්වලට ගරු කරන වෙනස් පාලන ආකෘතියක් ඔහුට හඳුන්වා දීමට සිදු විය. ඔහුගේ සමයේ බලවත්ව පැවැති ප්‍රබල සමාජ ව්‍යාපාර වූයේ ජෛනාගම සහ බුදු දහමයි. විශේෂයෙන්ම බුදු දහම පුළුල් ලෙස පැතිර ගියේ ජනතාව, විශේෂයෙන්ම බ්‍රාහ්මීය කුල ක්‍රමය යටතේ පීඩනයට ලක් වූ ජනතාව, සෑම කෙනෙක්ම මනුෂ්‍යයන් ලෙස පිළිගත්, හැම කෙනෙකුම ධාර්මික ලෙස ජීවත් වනු දැකීමට අවශ්‍ය වූ සහ සියලූම ගැටලූ සමඟ කටයුතු කිරීමේ දී සමාජ වගකීම ප්‍රධාන වන බව පිළිගන්නා ආගම වූ බුදුන් ගේ දර්ශනය වටා එක්රැස් වූ නිසා ය. කුල ක්‍රමය මත පදනම් වූ සමාජ සම්මතවලින් ඈත් වූ සහ, සාධාරණත්වය මත පදනම් වූ සමාජ සම්මතයන් වෙත වූ දර්ශනයේ වෙනස් වීම ඇති වූයේ ඉන්දියාව තුළ අති දැවැන්ත නිර්මාණශීලීත්වයක් මුදා හැරි කාලයක ය. ජනතාව තමන් විසින් පාලනය විය යුත්තේ කෙසේද සහ කුමන ප්‍රදේශවල ද යන්න පිළිබඳ සිය මතය සියලූම අසල්වාසී පළාත්වලට ගෙන යාමේ ගැටලූවට අසෝක අධිරාජ්‍යයා මුහුණ දුන්නේය. සිය වර්ධනයේ මූලික අවධිවල පැවැති ශිෂ්ටාචාරයකට සහ සමාජයකට ඔහුගේ සංස්කෘතික සම්මතයන්ගේ පදනම දැමූයේ ශ්‍රී ලංකාවට පැමිණි ඔහුගේ දූතයා වූ මිහිඳු හිමි විසිනි. මේ අනුව ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨ දර්ශන විද්‍යාත්මක සහ ආචාර සම්පන්න සම්ප්‍රදායක බලපෑමට ලක් වීමට තරම් භාග්‍යවන්ත විය. තව ද ශ්‍රී ලාංකේය සංස්කෘතියේ පූර්ව අඩිතාලම් ගොඩනැගුණේ මෙකී ප්‍රබල පදනම මත ය. මායාවාදය ඉන්දියාවෙන් බුදුදහම අතුගා දැමීමට මග පෑදූ නව දර්ශනවාදී ප්‍රවණතා ගෙන ආ ඉන්දියානු ආක්‍රමණ හරහා බොහෝ දුරකට සාර්ථක ලෙස පහර වැදුණේ මෙකී සංස්කෘතික පදනමට ය. මායාවේ දර්ශනය හෙවත් ‘මායාවාදය’ යනුවෙන් හැඳින්වෙන දර්ශනවදාය බිහි කළ තවත් සුවිශේෂී ඉන්දියානු දර්ශනවාදියෙක් වූ අධි සංකර් විසින් මෙකී චින්තනයට මඟ පෙන්වීම සිදු විය. ඔහු සඳහන් කළේ දෙවියන් පමණක් පවතින බව ය. එනම් දෙවියන් හැර, ඔහු ද ඇතුළු සෙසු සියල්ලම සහ සියලූම අය සහ සියලූම දේවල් ද නොපවතින බව ය. මෙය, සදාචාර සම්පන්න ජීවිතයක් සඳහා උපදෙස් දුන් සංකල්ප ගැන සැක පහළ කිරීමේ ගැඹුරු සංස්කෘතික මූලයන් නිර්මාණය කළේය. සදාචාරය ද අන් සියලූම දේවල් මෙන් මායාවකි. වෛදික දර්ශනවාදී බසෙහි මෙන්ම බ්‍රාහ්මීයවාදයේද මෙම දර්ශනය හොවා තිබිණි. බුදු දහමේ ව්‍යාප්තිය නිසා බලය අහිමි වී සිටි බ‍්‍රාහ්මණයෝ අධි සංකර්ගේ මෙකී නව දර්ශනය වටා විගස එක්රැස් වූහ. මෙම දර්ශනය ඉන්දියාවේ ගමක් ගමක් පාසා, වාද විවාද වැනි බුද්ධිමය මාර්ගවලින් ද, මෙම මතය වෙනස් කර මායාවාදයේ අනුගාමිකයන් බවට පත් වීමට අකමැති වූවන් ව විනාශ කරමින් කායික බලය යෙදීම මඟින් ද ව්‍යාප්ත වූ අන්දම පිළිබඳ අධ්‍යයනයන් සිදු කෙරී තිබේ. ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම මේ ක්‍රියාවලියම සිදු වූ අතර, අධි සංකර්ගේ දර්ශනය සෑම දෙයක් තුළටම, එයින් පසු රජවරුන් විසින් ලංකාව පාලනය කළ ආකාරය ද ඇතුළත්ව සෑම දෙයක් තුළටම අවශෝෂණය විය. ඉන්දියාවේ මෙන්ම ලංකාව තුළ, ඉන්දියාවෙන් ගෙන්වන ලද බ‍්‍රාහ්මණයන් ලවා ගමක් ගමක් පාසා එම දහම ව්‍යාප්ත කෙරුණු අතර, සමස්ත ශ්‍රී ලංකා සමාජයම කුල ක්‍රමය මත පදනම් ව පිළිගැනීමේ ක්‍රමයක් තුළ ඔවුන්ගේ භූමිකාව රඟ දැක්විණි. පොළොන්නරු යුගයේ දී ශ්‍රී ලංකාවේ සමාජය සංවිධානය වී තිබුණේ කුලය අනුව ය. නූතන යුගයේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය සිද්ධාන්ත මත පදනම් ව අපි සමාජයන් සංවිධානය වීම ගැන කතා කරන්නෙමු. ඒ අන්දමට, මේ කාලයේ දී සමාජ සංවිධානය සිදුවූයේ කුල ක්‍රමයේ සිද්ධාන්තවලට අනුව ය. කෙටියෙන් පවසන්නේ නම් එයින් අනතුරුව සකළ ශ්‍රී ලාංකිකයන්ගේ මනෝ විද්‍යාත්මක සහ සංස්කෘතික ගති පැවතුම් සහ මනෝ සැකසුම හැඩ ගන්වා තිබෙන්නේ යම් ආකාරයක පීඩනයක් හෝ මර්දනයක් ලෙසින් නිර්මාණය වූයේ මෙකී සිද්ධාන්තයන් ය. මූලික සහ වැදගත් සිද්ධාන්ත කිහිපයක් ප්‍රථම මූලධර්මය වූයේ මනුෂ්‍යයාගේ තත්ත්වය උපතේ දී තීරණය වන බව ය. එනම් උසස් යැයි සම්මත කුලයේ උපන්වුන් (සිංහලයන් අතර ගොවිගම සහ දමිළයන් අතර වෙල්ලාල කුලයේ අය උසස් කුල අය වූ අතර, අනෙක් වැඩ, විශේෂයෙන්ම කායිකව වෙහෙස වී වැඩ කළ වුන් අයත් වූයේ ‘‘කුලහීන’’ හෙවත් පහත් කුලවලට ය. සෑම පුරුෂයෙක්ම සිය මවුපියන්ගේ වෘත්තියේ නියැළිය යුතු වූ අතර, ඒ අනුව ඔවුන්ගේ තත්ත්වය නොවෙනස් කළ හැකි ස්ථිර එකක් වූයේය. මේ අනුව සමාජ සංක්‍රමණය පිළිබඳ සංකල්පය, වෙහෙස වී දුෂ්කර තත්ත්වයෙන් ගොඩ ඒම හෝ ධනවත් වීම මේ සමාජය තුළ තහනම් විය. දෙවැනි වඩාත් වැදගත් සිද්ධාන්තය වූයේ සමානුපාතික නොවන දඬුවම් පිළිබඳ සිද්ධාන්තයයි. සමානුපාතික නොවන දණ්ඩන යන්නෙන් අදහස් වූයේ පහත් තත්ත්වයක් ඇතැයි සැලකුණු අය, ඔවුන්ගෙන් අපේක්ෂිත හැසිරීමට වඩා ඉතාම කුඩා වෙනස් හැසිරීමක් දැක් වූ විටත් ඔවුන්ට දරුණුම අන්දමින් දඬුවම් ලබා දීම සිදු කෙරිණි. උදාහරණයක් වශයෙන්, කුලීන පිරිමියෙක් සමඟ ලිංගික සම්බන්ධතාවක් දැක්වූ පහත් කුල දැරියක් ඇය අයත් කුලයේ අය විසින් මරා දැමීම සිදු විය. යම්කිසි කුලයක් තුළ විවාහය සම්බන්ධයෙන් පවතින පරම සිද්ධාන්තයන් අතික්‍රමණය කිරීම හේතුවෙන් ඒ කුලයේම වැඩිහිටියන් විසින් ස්ත්‍රීන් ව මරා දැමීම පිළිබඳ බ්‍රිතාන්‍ය යුගයේ මුල් කාලයේ දී ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් මේ වන විට විවිධ පර්යේෂණ සිදු කෙරී ඇති අතර ඒවා ප්‍රසිද්ධ ද කර තිබේ. අනෙක් අතට සමානුපාතික නොවන දඬුවම් ලබා දීම යන්නේ, මිනීමැරීමක් වැනි බරපතළ අපරාධයක් පවා උසස් කුල අයෙක් විසින් සිදු කළහොත් එක්කෝ එයට දඬුවම් නොලැබී ගිය අතර එසේත් නැතිනම් යම් කිසි වන්දියක් ගෙවීම වැනි සුළු දඬුවමක් පමණක් ලබා දීම සිදු විය. නීතිය වූයේ එයයි. මේ නීතිය බලාත්මක කෙරුණේ එතුළින්ම පැන නැගුණු අභ්‍යන්තර යාන්ත්‍රණයක් මඟිනි. මෙය සියලූ ශ්‍රී ලාංකිකයන්ගේ මනස් තුළ පැළපදියම් විය. කුලයේ නීතිවලට එරෙහිව යාම්වලට දඬුවම් කරතැයි බිය සියලූ ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් තුළ පැළපදියම් වී තිබේ. මේ පුරුද්ද අඩුම වශයෙන් වසර එක්දහස් දෙසීයක් තිස්සේ පැවැති භාවිතයන් හරහා කැටයම් මෙන් තහවුරු වී තිබේ. පුරුද්දක් ඇතිවීම පිළිබඳ පර්යේෂණ හරහා අප දන්නා පරිදි යම් කිසි දෙයක් නැවත නැවතත් දීර්ඝ කාලයක් මුළුල්ලේ සිදු වන විට එය අපගේ අභ්‍යන්තර චෛතසිකය/මනෝධාතුව වෙත ද ඇතුළු වේ. මෙය හරියට අපගේ ජානවලට එය ඇතුළු වීමට සමාන ය. ජාන සැකසුමට වඩා වෙනස් වුවද ඒ හරහා, දීර්ඝ කාලයක් මුළුල්ලේ, දැඩි දඬුවම්වලින් බලගැන්වූ - ගැඹුරු ලෙස දරාගත් සංස්කෘතික මති මතාන්තර විසින් පුද්ගලයන් අතර ගැඹුරු වෙනසක් ඇති කර තිබේ. මිනිසුන්ට තමන්ගේ මර්දනය කළ හෝ යටපත් කළ තත්ත්වය ස්වකීය සාමාන්‍ය තත්ත්වය හෝ නිසි තත්ත්වය වශයෙන් පිළි ගැනීමට බල කළ විට, අභිමානය උල්ලංඝනය කිරීම යනුවෙන් සෙස්සන් විසින් සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන දෙය ගණන් නොගෙන සිටීමේ පුරුද්දක් හෝ එසේ ගණන් නොගෙන සිටීමේ හැකියාවක් ඇති කර ගනිති. මන්ද, අභිමානය පිළිබඳ සංකල්පය සෙස්සන්ට සමාන වීමක් වශයෙන් ඔවුන් වටහා නොගන්නා නිසා ය. ඔවුන් වටහා ගන්නේ අභිමානය යන්න සාපේක්ෂ තත්ත්වයක් ලෙස ය. තවද තමන් වෙත පැවරුණු දෙය ඔවුන් වටහා ගන්නේ තම ස්වභාවික ප්‍රවේණියේ කොටසක් ලෙස ය. මෙකී කුල ප්‍රවේණිය ශ්‍රී ලංකාවේ සියලූම ප්‍රජාවන් තුළ සංස්කෘතික උරුමයක් බවට පත්ව තිබේ. එතැන් පටන් මේ පුරුද්ද, තමන්ට කරදයක් වන දේවල්වලට ඇහුම්කන් නොදීම සහ නොදැක සිටීම දක්වා වර්ධනය විය. ඔවුන් යම්කිසි දෙයක් වැරදි සේ දකියිද, සහ, එයට වැරදි යැයි සලකමින් ප්‍රතිචාර දක්වයිද, එවිට ඔවුන් වඩා ලොකු ගැටලුවකට පැටලෙන අතර, කිසිදු ධනාත්මක ප්‍රතිඵලයක් නොලබති. මේ අනුව මේ සමාජය තුළ විරෝධය පෑම අගය කෙරුණේ නැත. මන්ද යත් විරුද්ධ වීම නිසා විශාල ප්‍රශ්න ඇති වන බැවින් සහ විරුද්ධ වීම හරහා ජනයා අතර, එම ගැටලූව පිළිබඳ හොඳ අවබෝධයක් ඇතිවීම හෝ වැරදි හදාගැනීම පිළිබඳ වඩා හොඳ කතිකාවතක් ඇති වීමට හැකියාවක් නොතිබූ නිසා ය. කුලවාදයේ සාරය වූයේ ආශ්‍රයන් පවත්වා ගැනීම ඉතා දුෂ්ට හා දරුණු සීමාව යටතේ සිදු කිරීමයි. තවද මෙකී දුෂ්ට හා දරුණු සීමාවන් ස්වභාවික දෙයක් හා ප්‍රකෘතියක් වශයෙන් පිළි ගැනුණේය. නොහැකි ඇයි? යටත් විජිත සමය ද ඇතුළු සමස්ත කාල පරිච්ඡේදයක් හරහාම දිව ගියේ මේ උරුමයයි. සමස්ත මානසිකත්වය යම් කිසි සීමාකාරී අන්දමකින් නවීකරණය කළ අලූත හඳුන්වා දුන් පරිපාලන සහ නෛතික ආකෘතිවලින් ඇති වූ බලපෑම් නොතකා අපි මෙය සම්පූර්ණයෙන්ම මකා දැමීමට අපොහොසත්ත්ව සිටිමු. එය එසේ කළ නොහැක්කේ එය සම්පූර්ණයෙන්ම මකා දැමීම සඳහා අප තුළ අභ්‍යන්තර පරිශ්‍රමයක් නොමැති නිසා ය. අභ්‍යන්තර මට්ටමේ දී පරණ පුරුදු, පරණ ආකල්ප සහ පරණ අගතීන් පෙර පරිදිම පවතී. විවිධ කැරලි සහ ත්‍රස්තමර්දන නීති හේතුවෙන් රටේ සෑම ප්‍රදේශයකම, දකුණේ මෙන්ම උතුරු නැගෙනහිර ද බරපතළ මට්ටමකින් මර්දනය ක්‍රියාත්මක වූ නූතන කාලයට, විශේෂයෙන්ම ගත වූ වසර පනහ වෙත ඉන් පසු අපි පිවිසියෙමු. මෙහි දී තමන්ගේ ඇස් පනාපිට සිදු වන දෙය ගණන් නොගෙන සිටීමේ පරණ පුරුද්ද නැවත ඉස්මතු විය. මේ සඳහා එක් උදාහරණයක් පමණක් සලකා බලමු. අති දැවැන්ත මට්මකින් රට තුළ අතුරුදන්වීම් සිදුවූ අතර ගෝලීය සංඛ්‍යාලේඛන අනුව ශ්‍රී ලංකාව සිටින්නේ බලහත්කාරයෙන් සිදු කරන අතුරුදන්වීම්වලින් දෙවැනි තැන ය. කෙසේ නමුත් මේ ගැටලුව පිළිබඳ කථා කිරීමට කැමති වන, තමන් දුටු දේ, තමන්ට ඇසුණු දේ, තමන් දන්නා දේ, ඒ දේවල් සිද්ධ වූ ආකාරය පිළිබඳ පවසන්නට කැමති අය සිටින්නේ අතළොස්සක් පමණි. මේ පිළිබඳ නිර්මාණාත්මක හෝ වෙනත් ආකාරයක ලේඛන, අතීතාවර්ජන ආදිය තිබෙන්නේ, තිබිය හැකි අවම මට්ටමේ ය. මිනිසුන් වටා හටගත් මේ ප්‍රචණ්ඩත්වය පිළිබඳ කතිකාවක් මෙහි නැත. ඒ, සියවස් ගණනාවක් මුළුල්ලේ පැවතගෙන ආ, ගැඹුරු ලෙස පවත්නා සංස්කෘතික පුරුදු හේතුවෙනි. තවද සංහිඳියාව පිළිබඳ කොතරම් සංවාද තිබුණත් එය වර්ධනය වීමට තිබෙන මූලික බාධකය ලෙස මෙය තවමත් පවතී. සංහිඳියාව ඇති කළ හැක්කේ මිනිසුන්ට තමන් කළ කී දේවල් ගැන පසුතැවීමක් තිබෙන්නේ නම් පමණි. සිය සමාජයන් තුළ සිදු වූ වැරදි දේවල් සහ වැරදි ක්‍රියාවන් ජනතාව පිළිගන්නට පටන් ගන්නා විට වරද දැක ඇති ජනතාව ඒ පිළිබඳ අතීතාවර්ජනය කරමින් ඒ ගැන කථා කරන්නට සමත් වෙති. මෙය සිදු වන තෙක් සංහිඳියාවක් පිළිබඳ සැබෑ යාන්ත්‍රණයක් ඇති විය නොහැකිය. වැරදි, ජීවිතයේ සාමාන්‍ය දෙයක් ලෙස පිළිගන්නට ජනතාව කටයුතු කරන තාක් කල් පසුතැවීමක් ඇති නොවේ. පොලිසිය සහ අනෙකුත් නීති සාධන ආයතන විසින් සිදු කරන වධ හිංසාව හා අවමන් සහගත සැලකිලි යම් සාමාන්‍ය දෙයක් ලෙසට පිළිගැනීමේ පුරුද්දක් ජනතාව ට තිබේ නම් එවිට ඔවුන් කිසිසේත්ම ඒවාට එරෙහිව විරෝධය පළ කරන්නේ නැත. එය මුලිනුපුටා දැමිය යුතු දෙයක් ලෙසට ඔවුන් සලක්නේ නැත. එවැනි තත්ත්වයක් තම රට තුළ තිබීම ගැන ඔවුන් පසුතැවෙන්නේ නැත. වැරදි දෙස වෙනස් අන්දමකින් බලන සමාජ ව්‍යාපාර ගණනාවක් මේ දිනවල ලෝකය පුරා තිබේ. උදාහරණයක් වශයෙන් චීන ඉතිහාසයේ භයානක කාලපරිච්ඡේදයක් වූ සංස්කෘතික විප්ලවය පැවැති සමයේ ජීවත් වූ ජනතාව චීනයේ වෙති. තරුණ ක්‍රියාකාරිකයන් සහ පරමාදර්ශවාදීන් වශයෙන් ඔවුන් සංස්කෘතික විප්ලවය ප්‍රගතිගාමී ව්‍යාපාරයක් ලෙසින් දුටු අන්දම සිහිපත් කරති. නමුත් සිය විරුද්ධවාදීන් මරන්නටත් දේපළ විනාශ කරන්නටත් පුරුදුව සිටි මේ අය අද වන විට තමන් දුටු දේවල්, තමන්ට ඇසුණු දේවල් සහ සමහර විට තමන් කළ දේවල් ගැන දැඩි ලෙස පසුතැවීම, කනස්සල්ල ප්‍රකාශ කරති. තමන් කළ වරදවලට සමාව දිය හැකි දෙයක් කරන තෙක්ම තමන්ගේ සිතට සාමයක් නොවූ බව පවසන්නෝ ද සිටිති. මිනිසුන් විසින් තමන් විසින් හෙළි කරන දේවල්වලට වඩා, තමන් යහපත් සදාචාර පුරුදු වන පුද්ගලයන් බවට පරිණාමනය කර ගන්නේ එබඳු පසුතැවීමේ මට්ටමක් විසිනි. මිනිසුන් ප්‍රචණ්ඩත්වය ප්‍රතික්ෂේප කරන්නේත් අඩු බලහත්කාරයක් සහිත සමාජ සංවාදයක් ඇති කරන ක්‍රමයක් ගොඩනගා ගන්නේත් එයයි. ප්‍රජාතන්ත්‍රවාදය යැයි කිව හැකි ඕනෑම දෙයක පදනම එයයි. ශ්‍රී ලංකාව, කුල ක්‍රමයේ භාවිතයන් හේතුවෙන් ඇති වූ - දිගු කලක් තිස්සේ පැවැති මනෝ විද්‍යාත්මක සහ සංස්කෘතික පුරුදු නිසා ප්‍රජාතන්ත්‍රවාදය වෙත පිය මනින මාවතක් ආරම්භ කිරීමට අසමත් වී තිබේ. සිය සමාජයන්හි සිදු වන වැ‍රැදි බොහෝ දුරට නෑසෙන හෝ නොපෙනෙන්නා සේ සිටින ජනතාවක් එය විසින් නිර්මාණය කර ඇත.

No comments:

Post a Comment