WELCOME YOU.

Wednesday, July 15, 2020

නව ව්‍යවස්ථාව අවධානයට ලක්විය යුතු ගැටලු කිහිපයක්-Dinamina

නව ව්‍යවස්ථාව අවධානයට ලක්විය යුතු ගැටලු කිහිපයක් Primary tabs පෙබ 22 2016 01:42 විශේෂාංග Tags: නිදහස් අදහස් නව ව්‍යවස්ථාවක් නිර්මාණය කර ගැනීම සඳහා සාකච්චාව ආරම්භ වී ඇත. රටේ විවිධ ප‍්‍රදේශවල ජීවත්වන ජනතාව සමග මෙම සාකච්ඡාව ගෙනයෑම සඳහා ව්‍යවස්ථා සංශෝධන කමිටුවක් පත්කරන ලදි. එම කමිටුව දැනටමත් කොළඹ මෙන්ම තවත් ප‍්‍රදේශ ගණනාවක ජනතා හමු පවත්වා ඇත. එම හමුවීම්වලදී බොහෝ දෙනෙක් කමිටුව ඉදිරියට පැමිණ විවිධ කරුණු ඉදිරිපත් කොට ඇත. මේ හැර කමිටුවට ලිඛිතව කරුණු ඉදිරිපත් කිරීම සඳහා ද අවස්ථාව සළසා ඇති අතර ඉතා සැළකිය යුතු ප‍්‍රමාණයකින් ලඛිත කරුණු දැක්වීම් ද ගලා එමින් පවතින බව කමිටුව නිවේදනය කොට ඇත. මේ හැර රටේ මාධ්‍ය තුළින්ද ව්‍යවස්ථාව පිළිබඳව ලිපි හා සම්මුඛ සාකච්ඡාප‍්‍රකාශයට පත්කෙරෙමින් පවතී. ලිඛිත හා විද්‍යුත් මාධ්‍යයන් තුළ ව්‍යවස්ථා කරණය පිළිබඳ උනන්දු සහගත සාකච්චාව පටන්ගනිමින් පවතින බව පෙනෙන්නට තිබේ. ව්‍යවස්ථා කරණය පිළිබඳ සාකච්ඡාව ඉස්මතුවෙත්ම මෙම සාකච්ඡාව ඉදිරියට ගෙනයෑම සඳහා ගැටළු ද පවතින බව පෙනෙන්නට ඇත. එම ගැටළු සමහරක් මෙසේය. ව්‍යවස්ථාවක් යනු කුමක්ද? යන්න පිළිබඳව අවබෝධය පසුගිය කාලයේ රටතුළ අහෝසි වී යෑම. නීතිවේදීන් හා බුද්ධිමතුන් අතර පවා ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක් නිර්මාණය කර ගැනීම සඳහා මතුවන දාර්ශනික නෛතික හා දේශපාලන සංකල්පමය කරුණු පිළිබඳ ඉතා කැපීපෙනෙන ශූන්‍යතාවයක් පැවතීම. 1972 හා 78 ව්‍යවස්ථා මගින් ලංකාවේ ව්‍යවස්ථා නීතිය පිළිබඳ ඇතිකර තිබෙන ඉතා බරපතළ ප‍්‍රශ්න පිළිබඳ අවබෝධය ඉතා පහළ මට්ටමක පැවතීම. දේශපාලන සාකච්ඡාවේදී ව්‍යවස්ථාව පිළිබඳ ගැටළුව පිළිබඳ ඉතා සරළ මට්ටමක අවබෝධයක් නිර්මාණය වීම හා එම සරල අවබෝධය ප‍්‍රචාරක මාධ්‍ය තුළින් සමාජගතවීම. නව ව්‍යවස්ථාව පිළිබඳ මූලිකත්වය ගන්නා දැනට පවතින ආණ්ඩුව තුළම තමන් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අත්පත්කර ගැනීමට උත්සාහ කරන්නේ කුමන අරමුණක්ද යන්න ගැන පැහැදිලි අවබෝධයකින් නොතිබීම 1978 ව්‍යවස්ථාව තුළින් දූෂණයට හා බලය අයුතු ලෙස යොදාගැනීමට පවතිනඉඩකඩ වලින් විශාල ලෙස ලාභ ලැබූ කණ්ඩායම් තුළ මෙම තත්ත්වය වෙනස්වීමට විරුද්ධව ඉතා බරපතළ විරෝධයක් පැවතීම. මෙම ගැටළු අතර ප‍්‍රධාන තැනැක් ගනී. ව්‍යවස්ථාවක් යනු කුමක්ද? යන්න පිළිබඳ අවබෝධය පසුගිය කාලයේ රටතුළ අහෝසි වී යෑම. ලංකාව යටත්විජිතයක්ව පැවති කාලයේ අගභාගයේදීත් ඉන් පසු නිදහස ලැබීමෙන් පසු මුල්කාලයේදීත් ව්‍යවස්ථාවක් යනු කුමක්ද යන්න පිළිබඳ සැළකිය යුතු අවබෝධයක් පැවතිණ. අධිකරණය තුළත් විශේෂයෙන්ම ඉහළ අධිකරණවල විනිශ්චකාරවරුන් තුළත්, රටේ නීතිඥයින් අතරත්, දේශපාලඥයන් හා රජයේ නිලධාරීන් අතරත් පොදුවේ වැඩි අධ්‍යාපනයක් තිබූ සියළු දෙනා අතරත් ව්‍යවස්ථාවකින් කුමක් බලාපොරොත්තු වේද යන්න පිළිබඳ සැළකියයුතු අවබෝධයක් පැවතිණ. එම අවබෝධය වර්ධනය වීම කරා බලපෑ විවිධ හේතුද පැවතිණ. නිතරම ලංකාවේ ශ්‍රෙෂ්ඨාධිකරණය ඉදිරියට ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ කරුණු මතුකරමින් පෙත්සම් ඉදිරිපත් කිරීමේ පුරුද්ද එකල පැවතියේය. යම් පනතක ව්‍යවස්ථානුකූලභවාය පිළිබඳ මතුකරන ලද ප‍්‍රශ්න ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේදී තර්කයට භාජනය විය. එකල රටේ සිටි දක්‍ෂම නීතිඥයන් විවිධ පාර්ශ්වයන් නියෝජනය කරමින් මේ පිළිබඳ කරන ලද දේශනා හා තර්ක පුවත්පත් මගින් ජනතාව අතරට පත්විණි. මෙම පුවත් පත් වාර්තා ජනතා අධ්‍යාපනය කෙරෙහි බොහෝ සේ බලපෑවේය. එම වාර්තාවල කියවුණු කරුණු මත පදනම්වී ගම්වල ගැමියන් අතර පවා මෙම ප‍්‍රශ්න සාකච්ඡාවට භාජන විය. ජන සාකච්ඡා තුළින් ජන විඥානය දියුණුවිය. එසේ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරියට ගෙනයන ලද පෙත්සම්වලට අදාළව නඩු තීන්දු විටින් විට ප‍්‍රකාශයට පත්විය. බොහෝ විට රජයේ ස්ථාවරය ප්‍රතික්ෂේප කරමින් පෙත්සම්කරුවන්ට පක්‍ෂව තීන්දුකරන ලද නඩු බොහෝය. එවැනි නඩු තීන්දු පිළිබඳ වැඩි උනන්දුවක් නීති කර්තව්‍යන්ට සමීපව කටයුතු කරන්නන් අතර මෙන්ම රටපුරාමද ප‍්‍රකාශයට පත්විය. මේ ආකාරයෙන් වක‍්‍රාකාරයකින් වුවද ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් ඉතා විශාල අධ්‍යාපනයක් පතුරුවාලීමේ කටයුත්තක් ඉටුකෙරිනි. වඩා සරළව කිවුවොත් ශ්‍රේෂ්ඨාධිකරණය නීතිය පිළිබඳවත් විශේෂයෙන්ම රටේ මුල්ම නීතිය වන ව්‍යවස්ථාව පිළිබඳවත් මුලූ රටටම කියාදීමේ ගුරුවරයකුගේ කාර්යයද ඉටුකළේය. එවැනි තවත් ගුරුවරයකු වූයේ ලංකාවේ පාර්ලිමේන්තුව සහ සෙනේට් සභාවය. මෙම සභා ඉදිරියේ එදා කෙරුණේ ව්‍යක්ත සාකච්චාවකි. ආණ්ඩු පක්‍ෂයේ මෙන්ම විපක්‍ෂයේ මන්ත‍්‍රීවරු ඔවුන්ගේ කථා මගින් නීතිය පිළිබඳ විවිධ පැති සමස්ත ජනතාව ඉදිරියට පැමිණුවෝය. ලෝකයේ දියුණු රටවල පාර්ලිමේන්තු ගර්භයන් හී දී පවත්වන ආකාරයේ කථිකාවතක් ලංකාවේ ද පවත්වගෙන යනු දැකගැනීමට එදා රට වැසියාට හැකිවිය. රටේ බලය පිළිබඳ ප‍්‍රධාන කේන්ද්‍රයක් වන පාර්ලිමේන්තුව තුළ ඇතිවූ කථාබහ ජන ප‍්‍රවාදයන් බවට පත්වීම පුදුමයට කරුණක් නොවේ. එය ලෝකයේ සෑම දියුණු ව්‍යස්ථාදායකයකින්ම සිදුවන රටකට ඉතාම අවශ්‍ය වූ කතිකාවන් ඇති කරන කර්තව්‍යයකි. පාර්ලිමේන්තුවේ ඇතිවන කථිකාව මාධ්‍යයන් තුළද තවත් කථිකාවන්ට මග පාදන ලදි. එමෙන්ම ආණ්ඩු පක්‍ෂයේ මෙන්ම විරුද්ධ පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන්ද ඔවුන් රටපුරා පැවත්වූ දේශපාලන රැස්වීම්වලට පාර්ලිමේන්තුවේදී ඔවුන් ඉදිරිපත්කරන මත ගෙන යන ලදි. මේ අනුව එකල දේශපාලන රැස්වීම් පසුකාලයේ දී මෙන් වල් පල් දොඩන තැන් නොව ජන විඥානය දියුණු කරන අවස්ථාවන් විය. ජන විඥානයේ ස්වභාවය නම් එක් සාකච්චාවක් මගින් තව සාකච්ඡාවල් බොහෝමයක් නිර්මාණය කිරීමය. මෙසේ ඇති වන සාකච්ඡාවල් රටේ ජනයා අධ්‍යාපනය ලබන ජන පාසල් සේ සඳහන් කළ හැකිය. මේ හැර රටේ විශ්වවිද්‍යාල තුළ විශේෂයෙන්ම නීති පීඨ හා දේශපාලන විද්‍යා පීඨ තුළ ව්‍යවස්ථා නීතිය පිළිබ'දව අධ්‍යාපනය ලබා දීමක් සිදුවිය. රටේ පාසල් තුළ ප‍්‍රජාචාරය වැනි විෂයන් මගින් රටේ දේශපාලන ව්‍යුහය පිළිබඳ අවබෝධයක් ඇතිකරන ලදි. විශේෂයෙන්ම රටේ සිවිල් සේවයට තුළ නීතිය පිළිබඳ ඉතා තියුණු අවබෝධයක් පැවතිණ. සිවිල් සේවා ආයතන තුළ එදිනෙදා තීන්දු ගැනීමේදී රටේ නීතියේ ප‍්‍රතිපත්ති තුළ පිහිටා එම තීන්දු ගත යුතුය යන අදහස ගැඹුරින්ම පැළපදියම් වී පැවතිණ. එම නිසා සිවිල් සේවයේ ආයතන තුළ උඩ සිට යටට නීතිය මත පදනම් වූ සංවිධාන ගැටළු හා ප‍්‍රශ්න විසඳීමේ ක‍්‍රම විසිරී පැතිරින. රටේ පොලිස් සේවය තුළ ව්‍යවස්ථාවත් නීතියත් පිළිබ'දව අවබෝධය වර්ධනය කිරීම නිරන්තරයෙන් සිදුවිය. අපරාධ පරීක්‍ෂණ කිරීමේ දී මෙන්ම ඒවා අධිකරණයට වාර්තා කිරීමේදී ඉන් පසු අධිකරණය ඉදිරියේ නඩු පවත්වා ගෙන යෑමේ දී සියළුඑම කටයුතු කරගෙන යන ලද්දේ ව්‍යවස්ථාවෙන් ඉදිරිපත් කරන ලද ව්‍යුහය හා එම ව්‍යුහය පදනම් වූ දාර්ශනික හා නෛතික සංකල්ප මගිනි. මෙසේ දළ වශයෙන් ඉදිරිපත් කළේ ලංකාවේ ව්‍යවස්ථාමය නීතිය හා එය ක‍්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ ජනතාව තුළ අවබෝධයක් නිර්මාණය කළ ආකාරයන්ය. අභාග්‍යයට මෙන් 1972 ව්‍යවස්ථාවෙන් පසු හා විශේෂයෙන්ම 1978 ව්‍යවස්ථාවෙන් පසු ඉහත සඳහන් සෑම මූලාශ‍්‍රයක්ම වියළී යෑම දකිත හැකිය. මෙයට හේතුව වූයේ මෙම ව්‍යවස්ථා දෙක මගින්ම එතෙක් පැවති ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යවස්ථා ව්‍යුහය හා සංකල්පයන් අස්ථානගත කිරීම හා ක‍්‍රමයෙන් අතහැර දැමීමය. මේ ආකාරයෙන් ලංකාව තුළ සිදුවූ මහා පරිමාණ පසුබැසීම නිසා රටේ ජන විඥානයේ ඇති වූ විශාල අ'දුර විස්තර කිරීමට බැරි තරම් ඉමහත්ය. ඇත්තෙන්ම නෛතික කටයුතු පිළිබ'දව හා දේශපාලන ව්‍යුහය පිළිබ'දව ජන විඥානය අතින් ලංකාව කාන්තාරයක් බවට පත්වීමට පටන් ගත්තේය. අද ලංකාව වනාහී නෛතික බුද්ධිය සම්බන්ධයෙන් කාන්තාරයකි. එම කාන්තාරයේ ජීවත්වන මිනිසුන්ට තෝතැන්නක දැකිය හැකි ජීවන නිර්මාණය දැක ගත නොහැකිය. එවැනි පසුබිමක් තුළ අවුරුදු 40 ක් පමණ කාලයක් අඛන්ඩව ජීවත් වී ඇති ලාංකීය ජනතාව තුළින් ව්‍යවස්ථාව පිළිබ'දව අවබෝධය තුරන්ව තිබීම පුදුමයක් නොවේ. වඩාත් අවාසනාවන්ත කණ්ඩායම නම් 1972 න් පසු කාලයේ දී උපත ලැබූවන්ය. ඔවුන්ගේ ජීවිතය ඔවුන් ගෙවා ඇත්තේ බුද්ධිමය වශයෙන් හා නෛතික වශයෙන් කාන්තාරයක් වශයෙන් සැළකිය යුතු තැනකය. ව්‍යවස්ථා ක්‍ෂේත‍්‍රය තුළ පාවිච්චිවන වචන මාලාවන් බලය බැඳ තැබිය යුතුය යන ආකල්පය, බල බෙදීම පිළිබඳ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංකල්පය නීතියේ ආධිපත්‍යය හා නීතිය මත පාලනය යන සංකල්පය, අධිකරණයේ අධිකාරීත්වය හා අධිකරණයේ ස්වාධිනත්වය පිළිබඳ සංකල්පය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වශයෙන් බලවත් වූ රාජ්‍ය සංස්ථා තුළින් රටේ පිළිවෙල අවුල් වීමට නොදී යෑම පිළිබඳ සංකල්පය පුද්ගලයා ආරක්‍ෂා කිරීමට රජයකට පැවරී ඇති පරම යුතුකම වටා ගෙතුනු නෛතික සංකල්පයන් මානව හිමිකම් රැකීම පිළිබඳව පවතින ව්‍යවස්ථාමය වගකීම් ආදී තවත් දීර්ඝව විස්තර කළ හැකි සංකල්පය ගණනාවක් පිළිබඳ ඔවුන් තුළ අබමල් රේණුවක තරමවත් අවබෝධයක් නැත. දකින දෙයින් ඉගෙන ගැනීම මනුෂ්‍යයන් අධ්‍යාපනය ලබාගන්නා ආකාරයයි. තමන්ට දකින්නට නොමැති දෙයක් සිතින් මවාගැනීමේ හැකියාවක් ඇත්තේ නැත. බොහෝ විට එසේ මවාගැනීමට උත්සාහ කලහොත් අප දකින්නේ විලම්භීත පමණකි. අද ලංකාවේ ජීවත් වන්නේ ව්‍යවස්ථාමය හා නීතිමය ක්‍ෂේත‍්‍රය සම්බන්ධයෙන් විලම්භීතයට පත්වූ මිනිසුන් හා ගැහැනුන්ය. එවැනි විලම්භීත මානසික තත්ත්වයකින් පසුවන මිනිසුන්ට තමන්ගේම ව්‍යවස්ථාවක් නිර්මාණය කර ගැනීමේ හැකියාව පවතීද? මෙය ඉතා ලෙහෙසියට පිළිතුරු දිය හැකි ප‍්‍රශ්නයක් නොවේ. කෙසේ වූවත් අඩුම වශයෙන් කිව හැක්කේ එම විලම්භීතභාවය දුරස්ථ කොට යම් අවබෝධයක් ඇති කිරීමේ ප‍්‍රයත්නයකින් තොරව රටට උචිත වූත් ජනතාවගේ ආර්ථික සමාජීය හා සංකෘතික ජීවිතයට පදනම සළසන්නාවූත් ව්‍යවස්ථාවක් ගොඩනැගීම විශ්වකර්මයාටවත් කළ නොහැකි කර්තව්‍යක් බවය. මේ නිසා මේ අවස්ථාවේ දී ගත යුතු මූලිකම පියවර වන්නේ ව්‍යවස්ථා නීති සම්ප‍්‍රධායන් පිළිබඳවත් අඩුම වශයෙන් නිදහස ලැබූ මුල් කාලයේ පැවති අවබෝධය පිළිබඳව දැනුවත් කිරීමක් සඳහා රජය විසින් බලවත් පියවරක් ගැනීමය‍‍. මේ අතර සිවිල් සමාජය විසින් එවැනිම බලවත් පියවරක් ගතයුතුව ඇත. මතකතබාගත යුතු ඉතා ප්‍රධාන සත්‍යයක් වන්නේ බොරුවෙන් බොරුව පමණක්ම නිර්මාණය වන බවත් හා විලම්භීතයකින් විලම්භීතයක් පමණක් නිර්මාණය වන බවත්ය. ව්‍යවස්ථාවක් ගොඩනගා ගැනීම සඳහා දැන් සිදුවන කාර්යය එවැන්නක් නොවේවාය යන්න රටවැසියාගේ අනාගතය පිළිබඳව ළබැඳියාවක් ඇති කාගේත් ප‍්‍රාර්ථනනය. නීතීඥ බැසිල් ප්‍රනාන්දු

No comments:

Post a Comment