WELCOME YOU.

Wednesday, July 15, 2020

Review of Book, " ශ්‍රී ලංකාවේ යුක්තියේ කතාව", edited by Mr. Basil Fernando -Published in Dinamina on Dec.02,2015.

ශ්‍රී ලංකාවේ යුක්තියේ කතාව දෙසැ 02 2015 01:15 0 සමදරා ජයසිංහ විශේෂාංග යුක්තිය සහ අයුක්තිය අතර ඇති හිඩැස පිරවීමට යත්න දැරුවෝ බොහෝ ය. අයුක්තිය රජයන සමාජයක ඇති බියකරු බව සියැසින් අත්දුටු අතැමුන් යුක්තිය ඉල්ලා කෑ මොර දුනි. අවසානයේ ඔවුනට අත්වූයේ ද අයුක්තියේ කිනිසි පහරින් ලේ ගලා මහපොළොව මත මිහිදන් වීමට ය. එදත් අදත් අතර වැඩි වෙනසක් තවමත් නොදැනෙන්නේ මන්දැයි විමසා බැලීමට තරම්වත් අවධානය යොමු නොවුණේ කොතැනක හෝ සිදුවූ අත්වැරැද්දකින් හෝ අතපසු වීමකින් විය හැකි ය. නැතහොත් අනෙකාගේ අයිතිය හෝ හිමිකම ගැන සිතන්නට තරම් අවශ්‍යතාවක් තමන් තුළ නොමැති නිසා ද විය හැකි ය. එය අද මේ මොහොතේ අප ගත කරන සමාජ ක්‍රමයේ සැටි ය. තවමත් අප සමාජයේ යුක්තිය භුක්ති විඳීමේ විෂමතාවක් පවතී. දෑස් හොඳ හැටි විවර කර බුද්ධිය මෙහෙයවා බලන කළ, එය තරමක් හෝ වටහා ගැනීමට හැකිවේ. තමන්ගේ අයිතීන් රැකගැනීමට වෙහෙසෙන තරමට අනෙකාගේ අයිතිය රැකදීමට නොවෙහෙසෙන්නේ මන්ද? ‘ ශ්‍රී ලංකාවේ යුක්තියේ කතාව’ තවත් එක් කතාවක් පමණක් නොව, මේ මුළු මහත් සමාජ සංස්ථාවේම කතාවයි. පොලිස් වධහිංසා, වින්දිතයන්ගේ කතා මඟින් තහවුරු කිරීමට උත්සාහ දරන මෙහි සමස්තය තුළම ඇත්තේ එකම කතාවකි. එනම් දුප්පත්කම, නූගත්කම, දේශපාලන සබඳතා අඩුකම නිසා සමාජයෙන් කොන්වූ, ඒ තරමටම අසාධාරණ ක්‍රමයක පහසු ගොදුරු බවට පත් වූ වධහිංසාවට ලක්වූ මිනිසුන්ගේ කතාවයි. අදටත් අයුක්තියේ තිත්ත රසය තොළගාන ඔවුන්, යුක්තියේ මිහිරි රසය අත්විඳින්න උපේක්ෂාවෙන් බලා සිටී. සියල්ල දරා සිටී. ඒ සමාජයෙන් කොන් කළ ඔවුනට ඇත්තේ දරා සිටීම පමණක්ම වන නිසා ය. මේ එහි සඳහන් එක් සිදුවීමක් පමණි. 1998 පී. කේ. ස්වර්ණ රේඛා පොලිස් නිලධාරිනියකගේ ඝාතනයේ සිට 2012 තුසිත රත්නායක නොකළ වරදකට වින්ද වධ හිංසා දක්වා වූ වසර පහළොවක් පුරා සැඟවී ගත් සත්‍ය සිදුවීම් 402ක් මෙහි අන්තර්ගත කර තිබේ. රටේ පවති ඉතා ප්‍රාථමික ගණයේ පොලිස් ක්‍රමය, බොහෝ රටවල තිබෙන නූතන හැකියා හා ගුණාත්මක තත්ත්ව ප්‍රයෝජනයට ගන්නා පොලිස් ක්‍රමයක් බවට නවීකරණය කිරීමට පාලක තන්ත්‍රය පෙලඹීම ප්‍රධාන අරමුණු කරගනිමින් මේ කෘතිය රචනා කර තිබේ. මෙහි කතුවරයා පොලිසියේ කාර්යභාරය හුදු විවේචනයට ලක්කිරීම නොව, මර්දනය හා ප්‍රචණ්ඩත්වය නිමාකර, නීතියේ ආධිපත්‍යය හා සුළු ජන අයිතිවාසිකම් ආරක්ෂා වන සේ මානව හිමිකම් රාමුව තුළ හිඳ ආරාවුල් සමථකරණයේ ආචාර විධි නිර්මාණය කිරීමේ කාලීන වැදගත්කම හා කාලෝචිත බව පිළිබඳවද පැහැදිලි කර තිබේ. ශ්‍රී ලාංකේය නීති විශාරදයෙක්, මානව හිමිකම් ක්‍රියාකාරිකයෙක්, ආසියානු මානව හිමිකම් කොමිසමේ ප්‍රතිපත්ති හා එවන් වූ මිනිස්සුන් වෙනුවෙන් හඬ නැගීමට සියලු බැමි බිඳ දා නැඟී සිටි නීතිඥ බැසිල් ප්‍රනාන්දු ශ්‍රී ලංකාවේ යුක්තියේ කතාව හරහා මෙතෙක් එහෙන් මෙහෙන් කතා කළ, එහෙත් ප්‍රබල ලෙස කතා කළ යුතු පැතිකඩක් පිළිබඳ පාඨකයාගේ අවධානය යොමුකොට ඇත. මානව හිමිකම් ගැන මහා ඉහළින් කතා කරන රටක, පොලිස් හිරකූඩුව තුළ අභිරහසේ මිය යන වධහිංසාවට ලක්වන ඔවුන්ට මානව හිමිකම් නැතිද? 1999 සැප්තැම්බර් 13 වැනිදා එඩ්වඩ්ගේ ප්‍රකාශය (සිරකරු අංකය 2143) 1. “මගේ ඇස් බැඳලා සතෙකුට වගේ ගැහැව්වා. ඒ පහරවලට මගේ එක දතක් ගැලවුණා. 2. මගේ ඔළුව උඩ පොත් ටිකක් තියලා පොල්ලකින් පොත්වලට ගැහුවා. හිස බිත්තියේ හැප්පුවා. ඒ නිසා අදටත් මට දරුණු හිසේ කැක්කුමක් හැදෙනවා. ඇස්වලින් නිතරම කඳුළු ගලනවා. 3. පෙට්‍රල්වලින් පොඟවපු රෙදි කඩක් මගේ මූණේ ඇතිල්ලුවා. ඊට පස්සේ මට ක්ලාන්ත වුණා. මේ පොලිස් සිරකූඩුවේදී මිනිසුන්ට අත්විඳින්නට වන වධහිංසා ය. මනා ලෙස පර්යේෂණ කිරීමෙන් හා පානදුර ජන සංසදය, ද හෝම් හෝ වික්ටිම්ස් ඔෆ් ටෝචර්, සෙටික්, රයිට් ටූ ලයිෆ්, ගම්පහ පුරවැසි කමිටුව, රූල් ඔෆ් ලෝ ෆෝරම්, දේශීය සහකාර සංවිධාන, ආසියානු මානව හිමිකම් කොමිසම වැනි මේ අධ්‍යයනය සඳහා ශ්‍රී ලංකාවෙන් සම්බන්ධ වූ සංවිධානයන්හි දායකත්වයෙන් යුක්තව, මෙරට පොලිසියේ ක්‍රියාදාමය පිළිබඳ වඩාත් නිවැරැදි තොරතුරුම ලබාදීමට කතුවරයා වගකීම් සහගතව උත්සාහ දරා තිබේ. මානව ඛේදවාචකයේ කතාන්දරය පවසන මේ කෘතිය, කියවා පසෙක තැබීමට නොව, ප්‍රබල කතිකාවක් සමාජය තුළ ඇතිකරවීමට පොලඹවන්නකි. ඒ හරහා සමාජ ප්‍රතිසංස්කරණයක පරම අවශ්‍යතාව වෙත පාඨකයා මෙහෙයවීමට මේ කෘතිය සමත්වේ. අවනීතිය හා අයුක්තිය පිළිබඳ මහජනයා විසින් ප්‍රතික්ෂේප කරන බිහිසුණු චිත්‍රය වෙනුවට , සමානකම, සාධාරණත්වය සහිත පුරවැසියන් සුරක්ෂිත කිරීමේ නව මාර්ගයක් ඔස්සේ මහජන විශ්වාසය තහවුරු කරන ක්‍රියාවලියක් මේ කෘතිය කියවන පාඨකයා තුළ ඇතිවේ නම්, එය රටේ යහපැවැත්මට හේතු වේ.

No comments:

Post a Comment