WELCOME YOU.

Sunday, July 19, 2020

අපේකම යනු කුමක්ද?-Basil Fernando article in Ravaya on 29 May 2020.

විශේෂාංග අපේකම යනු කුමක්ද? පුවත්තීරු ලිපිදේශපාලනඅපේකම යනු කුමක්ද? ByEditor- May 29, 2020 0428 බැසිල් ප්‍රනාන්දු මේම දිනවල අපේකම පිළිබඳව වැදගත් සාකච්ඡාවක් නිර්මාණයවෙමින් පවතී. මෙයට එක් ප්‍රධාන හේතුවක් වන්නේ දැනට ලංකාවේ සමස්ත ජනතාව තුළම ලංකාවේ ප්‍රාග් ඉතිහාසය පිළිබද ගවේෂණවල සොයා ගැනීම් පැතිරීමට පටන්ගෙන තිබෙන නිසාය. මෙය අතිශයින් වැදගත් වන සාකච්ඡාවක මුල් අවධියකි. මේ නිසා අපේකම යන්න පිළිබඳ අදහස ලංකාවේ විකාශනය වී ඇති ආකාරය පිළිබඳව කල්පනා කිරීම වටී. ඉතිහාසයේ ප්‍රධාන අවධීන්හිදී මෙම අදහස පිළිබඳව වෙනත් අර්ථකථනයන් පැවතී ඇති බව පෙනී යයි. අපේකම පිළිබඳ අදහසේ විකාශනය පහත සඳහන් අවධීන් තුළින් සිදූ වූ බව පෙනී යයි. පළමු වන අවධිය ලංකාවට ආදිවාසී කණ්ඩායම් දැනට අවුරුදු එක් ලක්ෂ විසි පන්දහසක පමණ පෙර කාලයකදී අවතීරණය වී ක්‍රමයෙන් ඔවුහු ලංකාවේ ආදිවාසී ස්වදේශිකයන් බවට පත්වූහ. ඔවුහු දීර්ඝ කාලයක් තිස්සේ මූලික වශයෙන් දඩයක්කාරයන් හා ආහාර ස්වභාව ධර්මය තුළින් එකතු කර ගත් අය වූහ. දෙවැනි අවධිය වන්නේ සංවිධානාත්මක කෘෂිකර්මය ලංකාවේ ඇතිවීමය. ආදිවාසී ස්වදේශිකයෝ ස්වභාව ධර්මයෙන් ලබාගෙන භුක්ති විඳි විවිධ භෝග වර්ගයන් වවන්නට පටන් ගත්හ. මෙය ක්‍රි.පූ. 6000 හෝ ඊට ආසන්න කාලයක සිදූවූවකැයි සලකනු ලබයි. මෙම මුල් අවධියේදී වගාව සිදුවූයේ එකිනෙකාගේ ආහාරය සඳහාය. එහෙත් එක්තරා කාලයකදී මෙම මුල් ගොවියෝ අතිරික්තයක් නිර්මාණය කළ හැකි පමණට කෘෂිකර්මය දියුණු කළහ. මෙම අතිරික්තයද මුලින් පාවිච්චි කරගන්නට ඇත්තේ ඔවුන්ගේම පාරිභෝජනය සඳහාය. අස්වැන්න ලැබෙන කාලයේදී ලබාගත් ධාන්‍ය එසේ නොලැබෙන කාලයේදී ප්‍රයෝජනයට ගැනීම සදහා ඔවුහු තරමක් ඒවා රැස් කර ගන්නට ඇතැයි සිතිය හැකිය. මෙවැනි පුරුද්දක් අදවන තුරුත් ලංකාවේ සුළු ගොවියන් අතර පවතී. එහෙත් පසු කාලයේදී අතිරික්තයක් ලබා ගැනීමේ අරමුණින්ම ගොවිතැන් කිරීම ඇති වීමත් සමග ඉඩම් පිළිබඳ අදහස වර්ධනය වීමට පටන් ගත්තේය. වැඩි බිම් ප්‍රමාණයක් අයිති කර ගතහොත් ඒ තුළ වැඩි ගොවිතැනක් කළ හැකි බවත්, එම ගොවිතැනින් ලැබෙන ධාන්‍ය රැස් කර ගැනීම මගින් ඒවා විකිණීමට මෙන්ම ධනය උපයන මාර්ගයක් සේ යොදා ගැනීමට හැකි බවත් ඔවුනට පෙනී යන්නට ඇත. මේ කාලය තුළ කෘෂිකර්මය හා ඊට බද්ධ වුණු වෙනත් වාණිජ කටයුතු වර්ධනය වන්නට ඇතැයි සිතිය හැකිය. මෙම වාණිජ කටයුතු ඔස්සේ ලංකාවට ස්වදේශික නොවූ පුද්ගයන් ඇතුළු වන්නට ඇති අතර ඔවුන් අතරින් ආ සංක්‍රමණිකයන් ලංකාවේ පදිංචි වන්නටත් ඇත. අනුරාධපුරය රටේ මුල් නගරය සේ ඇතිවීමත් ඒ තුළ වෙනත් දේ අතර වාරිමාර්ග පිළිබඳ දියුණුවක් ඇතිවීමත් මෙම සංවිධානාත්මක කෘෂිකර්මය මුලින් පටන් ගත් අවධියේ සිදුවන්නට ඇතැයි උප කල්පනය කළ හැකිය. ලංකාවට ළඟා වූ සංක්‍රමණිකයන්ද, ඉන්දියාවට පැමිණ වර්ධනය වූ එම රටේ ස්වදේශීය ආදිවාසීන්ගෙන් පැවතෙන්නෝ යැයි සිතිය හැකිය. උදාහරණ වශයෙන් ඉන්දියාවේ සමහර ප්‍රදේශවල ජනයාගේ ශාරීරික ලක්ෂණ ලාංකිකයන්ගේ ශාරීරික ලක්ෂණවලට බොහෝ දුරට සමානය. මෙය සිදුවන්නට ඇත්තේ ලාංකීය ස්වදේශීය ආදිවාසීන් මෙන්ම ඉන්දියාවේ සමහර ප්‍රදේශවල ආදිවාසීන්ද ඈත අතීතයේදී එකම මූලයකින් පැන නැගුණු නිසා විය හැකිය. එය එසේ නම් ඒ තුළ විශාල වටිනාකමක් ඇති ඓතිහාසික තොරතුරක් සැඟවී තිබෙන්නට පුළුවන. ස්වදේශීයභාවයේ වර්ධනය වීමේ තුන්වන අවධිය එක්තරා සදාචාර ධර්මයන් ලංකාව තුළ ඇතිවී වර්ධනය වීමයයි කිව හැකිය. මේ අවධිය කෙරෙහි වැඩි වශයෙන් අවධානය යොමුව ඇත්තේ බුදු දහම ලංකාවේ පැතිරීම තුළිනි. අතිරික්තයක් නිර්මාණය කිරීම තුළින් විවිධ සමාජ ගැටලු ඇතිවෙමින් පවතින කාලයකදී අවතීරණය වූ බුදු දහම ලංකාවේ ඉතා දියුණු සදාචාර පද්ධතියක් ඇති කිරීමට හේතුවිය. එම සදාචාරය තුළ මූලික වශයෙන්ම පැතිර වූ අදහස වූයේ තණ්හාව හෙවත් දේපළ කෙරෙහි කෑදරකම තුළින් ඇතිවන අනිසි ප්‍රතිඵලයන් මුල්කොට ගෙනය. තණ්හාවෙන් අත්මිදීම හා තෘෂ්ණාව මර්දනය කර ගැනීම තුළින් තමා පුද්ගලයකු වශයෙන් සිදුකරන පැවැත්ම හා සාමූහික පැවැත්ම අතර සමතුලිත හා නිර්මාණාත්මක සම්බන්ධයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මෙම සදාචාර පද්ධතිය අතිශයින් වැදගත් කාලයක් විය. එයද ස්වදේශිකත්වයේ කොටසක් බවට පත්විය. මෙයට බුදු දහම මෙන්ම ඊට පෙර යුගයකදී ලංකාවට අවතීර්ණ වී තිබූ තිබූ ජෛන ධර්මයද දායක වන්නට ඇත. මේ හැර ආදිකාලීන ස්වදේශිකයන්ගේ ජීවත් වූ දීර්ඝ යුගය පුරා පැතිරුණු ගස් ගල් වන්දනාව හා මියගිය ඇත්තන්ට ගරු බුහුමන් කරමින් ඔවුන් පිළිබඳව පැවති ඒ අදහස් ද මෙම සදාචාර ධර්මතාවන් වර්ධනය වන්නට හේතුවන්නට ඇත. මින්පසු එනම් අනුරාධපුර යුගයෙන් පසු ඇතිවූ ඉන්දීය ආක්‍රමණයන් තුළින් වෙනත් සදාචාර ධර්මයන් හා දර්ශනයන් ලංකාව කෙරෙහි සම්ප්‍රාප්ත විය. ලංකාවේ කුල ක්‍රමය මුල් බැස ගන්නේ මේ කාලයේදී වන අතර පොළොන්නරු යුගය අවසන් වනවිට ලංකාවේ සංවිධාන රටාව කුල ක්‍රමය මත පදනම්ව ඇති එකක් බව ඉතිහාසඥයෝ පෙන්වා දී ඇත. මේ අවධිය ගැඹුරින් තේරුම් ගැනීම පසු කාලයකදී ලංකාවේ ඇතිවූ වර්ධනයන් හා ගැටලු තේරුම් ගැනීම කෙරෙහි අත්‍යවශ්‍යම කටයුත්තකි. කුල ක්‍රමය ලංකාවට අවතීරණය වීම, එය මුල් බැස ගැනීම, එය ලාංකිකයාගේ මානසිකත්වය ප්‍රතිනිර්මාණය කරන තත්ත්වයක් ඇතිවීම හා ඒ තුළින් ඇති වූ සමාජ බෙදීම පිළිබඳව ගැඹුරු අවබෝධයකින් තොරව අපේකම යන්න තේරුම් ගැනීමට කරන උත්සාහය ඇත්තෙන්ම අපේකම සම්බන්ධයෙන් ලංකාවේ පවතින ගැඹුරු විරෝධතාවන් මගහැරීමක් බවට පත්වේ. එසේ මග හැරීම තුළින් අපේකම පිළිබඳව නිර්මාණය වන්නේ බොරු ප්‍රතිරූපයක් වන අතර එවැනි බොරු ප්‍රතිරූපයක් ආරූඪ කර ගැනීම ම රටක සාමූහිකත්වය ඇති කිරීමට හා සහයෝගීතාව වර්ධනය කිරීමටත්, ඒ මගින් අපේකම යන්න ගැන සැබෑ පදනමක් තහවුරු කරගැනීමටත් අතිශයින් බාධකයක්ව පවතී. කුල ක්‍රමය ඇතිවීම හා මර්දනය සමාජ ගතවීම සිදූවූයේ ඓතිහාසිකව බලන කල මෑත කාලයකදී වන හෙයින් ඒ පිළිබදව විශාල තොරතුරු පවතින බවට කිසිම සැකයක් නැත. ලංකාවේ අද ජීවත් වන සියලුමදෙනාත් මෙම ගැටලු පිළිබඳව තමන් ලබා ඇති ගැඹුරු අවබෝධයක් ඇත්තෝ වෙති. අපේකම පිළිබඳව ඊළඟ වර්ධනය වන්නේ යුරෝපීය යටත් විජිතවාදීන් ලංකාවට අවතීර්ණය වීම හා ඔවුන් විසින් ලංකාව තුළ ඇති කළ විවිධ සංවිධානාත්මක වෙනස්කම් හා වටිනාකම්ය. මෙම කාලය තුළ අපේකම පිළිබඳ විශාලම ගැටලුව ඇති කළ සාධකය වූයේ යටත් විජිතවාදීන් අධ්‍යාපනය සම්බන්ධයෙන් අනුගමනය කරන ලද ප්‍රතිපත්තියය. මැකෝලි නමැති බි්‍රතාන්‍යය යටත් විජිතවාදී ප්‍රතිපත්ති නිර්මාණය කිරීමෙහිලා විශාල බලපෑමක් ඇති කළ නායකයා ඔහුගේ ලේඛනයක ලියා ඇත්තේ ඉන්දියාව තුළ අධ්‍යාපනය දියුණු කිරිමේදී බි්‍රතාන්‍යය විසින් විශාල විවාදයකින් පසු ඇති කර ගත් එකඟතාවය. එම එකඟතාවයේ හරය නම් ස්වදේශිකයන් සුළු කණ්ඩායමක් සඳහා ඉංග්‍රීසි අධ්‍යාපනය විවෘත කළ යුතු බවත්, එම විවෘත කිරීම තුළින් ඇතිවන නව බුද්ධිමත් පරපුරක් ඔස්සේ බටහිර ඥාන සම්භාරය යටත්විජිත තුළට ගෙන ආ යුතු බවත්ය. ඉන්දියාවේදී නිර්මාණය කරගත් මෙම දර්ශනය, පසුකාලීනව ලංකාව ඇතුළු යටත්විජිතවලට පැතිර ගියේය. මේ අනුව 20 වන ශත වර්ෂය වන විට ලංකාවේ ජනගහනයෙන් සියයට තුනක් පමණ ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලබා ගත් අය වූහ. එය හුදෙක් භාෂාවක් ඉගෙන ගැනීමක් පමණක් නොවීය. ඒ තුළින් ඔවුන් අපේකම යන්න එක්තරා ආකාරයකට පිළිකුලකින් සැලකීමට පටන් ගත්හ. මුල් කාලයේදී ආදිවාසී ස්වදේශිකයන් අශීලාචාර ලෙස සැලකීමට සංක්‍රමණිකයන් පුරුදු වූවා සේ, ඉංග්‍රීසි බසින් අධ්‍යාපනය ලැබීමට පටන් ගත් මෙම සුළු කණ්ඩායම එසේ නොවූවන් අඩු සංස්කෘතියක් ඇති හෝ සංස්කෘතියක් නැති කණ්ඩායමක් සේ සැලකීමට පටන් ගත්හ. මේ තුළින් ඉතාමත්ම ගැඹුරු භේදයක් රට තුළ හට ගත්තේය. මෙහිදී අපේකම යන්න පසුගාමී අදහසක් ලෙසත් යුරෝපීයකමට බද්ධවීම දියුණුවීමට පටන් ගැනීමක් ලෙස සැලකීමත් සිදුවිය. මෙම ඉංග්‍රීසි භාෂාවෙන් කටයුතු කිරීමට පුරුදු වූ යටත්විජිතවාදීන්ගේ සේවයට කැපවුණු කණ්ඩායම රටේ බලවත්ම කණ්ඩායම බවට පත්විය. ධනය ඒකරාශී කිරීමේදී ඔවුන් යටත්විජිතයට කළ සේවාවන්ට දෙන ප්‍රති උපකාරයක් සේ බොහෝ දේ ලබා ගත්හ. විශාල ප්‍රමාණයේ ඉඩම් ලබා ගත්හ. එමෙන්ම අලුතින් ඇති වූ කර්මාන්තවලද ප්‍රධානීන් බවට පත්වූයේ මෙම කණ්ඩායමය. මේ මගින් ලංකාවේ ස්වදේශීයභාවය පිළිබඳව ඇති වූ විශාල ගැටලුව අද අපේකම පිළිබඳව කෙරෙන සාකච්ඡාවේදී විසඳිය යුතු බලවත් විසමතාවක් වේ. මින් පසු අවධිය සිදුවන්නේ මේ ඉංග්‍රීසි භාෂාවෙන් යටත් විජිතවාදීන් සමග දැඩි සම්බන්ධයක් ඇති කරගත් කණ්ඩායම් නිදහසට කිට්ටුවන කාලයේදී තමන්ගේ ස්වදේශීය භාවය ඔප්පු කිරීම සඳහා ගොඩනගා ගන්නා ලද ව්‍යාජ ප්‍රයත්නයන්ය. මේ ප්‍රයත්නයන්ගේ වර්ධනයේ ඉතා වැදගත් අවධියක් වන්නේ 1931 දී සර්වජන ඡන්දය ප්‍රකාශයට පත්කිරීමය. ලංකාවේ අනාගතයේදී බලය දරන්නන් මහජන ඡන්දයෙන් පත්විය යුත්තන් බව තේරුම් ගත් මේ මුලින් යටත්විජිතයට බද්ධ වූ කණ්ඩායම් ඒ අනුව තමන්ගේ මතවාදයන් වර්ධනය කිරීමට පටන් ගත්හ. ඔවුන් විසින් ව්‍යාජ අපේකමක් නිර්මාණය කළහ. එය ස්වභාවයෙන් වර්ධනය වූ අපේකම නොව දේශපාලනය තුළින් හා දේශපාලන වාසිය සඳහා වර්ධනය වූ අපේකමක් බවට පත්විය. ඊළඟ අවධිය නම් නිදහසේ සිට අද දක්වා පැවත එන කාලයයි. මේ කාලයේ මූලික ලක්ෂණය සේ පවතින්නේ කුල ක්‍රමය ඇති වූ යුගයේදී හා යටත්විජිත ක්‍රමය ඇති වූ කාලයේදී ඇති වූ දැඩි සමාජ බෙදීම් හා විෂමතාවන් නිසි ලෙස විසඳා ගැනීමට නොහැකි වීම නිසා ඇති වන අතිශයින්ම භේදබින්න වූ කාලයකි. මෙහිදී භේදබින්න කාලය හා අපේ කාලය අතර අපේකම අතර දැඩි ප්‍රති විරෝධී මතවාදයන් ඇතිවීමට පටන් ගනී. දේශපාලනය සඳහා අපේකම යොදාගත් අංකූර දේශපාලනඥයෝ සූක්ෂ්මව සුළු ජාතිකයන් අපේ නොවන ආකාරයක් දැක්වීමටත්, මේ හා වෙනත් සමාන හේතු මගින් ගැටලු ඇති කිරීමටත් පටන් ගත්හ. එමෙන්ම රටේ සියලුම ප්‍රදේශවල මන්ත්‍රීවරුන් පත්කර ගැනීමේදී කුලය ප්‍රධාන සාධකයක් බවට පත්වීමත් සිදුවිය. මේ ආකාරයෙන් ලංකාවේ අපේකම පිළිබඳව ඇති වූ මතවාද විකාශනය සලකා බැලීමේදී පෙනී යන්නේ අද අපේකම යනුවෙන් ආදිකාලීන ස්වදේශිකයන් සැලකූ ස්වර්ණමය අදහස් හා වර්තමානයේ පවතින අදහස් අතර ඉතා ගැඹුරු වෙනස්කම් පවතින බවය. ආදිකාලීන ස්වදේශිකයන් පරිසර ආරක්ෂාව, සාමූහික පැවැත්ම, සහයෝගීතාවයෙන් කටයුතු කිරීම ඉතා දීර්ඝ කාලයක් ඔස්සේ නිර්මාණය කරමින්, ප්‍රතිනිර්මාණය කරමින් අතිශය ගැඹුරු දායාදයක් ලාංකිකයාට හිමිකර දී ඇත. අවාසනාවකට මෙන් කුල ක්‍රමය ඇති වූ කාලයේ සිට යටත්විජිත කාලය පුරා වර්ධනය වන්නේ භේදබින්න භාවයේ දර්ශනයන් හා මානසික තත්ත්වයන්ය. මෙම භේදබින්න භාවයේ මානසිකත්වයන් අබිබවා ආදිකාලීන ස්වදේශිකයන් විශාල කාලයක් ඔස්සේ උරුමකර දුන් සංස්කෘතික ගතිගුණ නැවත ප්‍රතිනිර්මාණය කරන අතරම, ඒවා වර්තමාන ලෝකය තුළ බලවත්ව ප්‍රකාශයට පත් කළ හැකි නම්, පමණක් ලංකාව තුළ විශාල ව්‍යසනයක් වැළැක්වීමට හැකිවනු ඇත.

No comments:

Post a Comment