Tuesday, July 14, 2020
නඩු පමාව නිසා නීතියට බය අඩුවෙලා
නඩු පමාව නිසා නීතියට බය අඩුවෙලා
Friday, දෙසැම්බර් 4, 2015 - 01:00
ඡායාරූපය - සමන් ශ්‍රී වෙදගේ
විශේෂාංග
එක්සත් ජාතීන්ගේ සංක්‍රාන්තිය අධිකාරියේ ජ්‍යෙෂ්ඨතම මානව හිමිකම් නිලධාරියකු වශයෙන් 1992 වසරේදී කටයුතු කළ නීතිඥ බැසිල් ප්‍රනාන්දු මහතා, එක්සත් ජාතීන්ගේ මධ්‍යස්ථානයේ (දැන් එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය) නීති ආධාර ඒකකයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය. හොකොං හි එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය අනුග්‍රහය දැක් වූ වියට්නාම සරණාගතයන් පිළිබඳ ව්‍යාපෘතියක නීති උපදේශකවරයා වශයෙන් කටයුතු කළ ඔහු, 1904 වසරේ සිට හොකොංහි පිහිටා තිබෙන ආසියානු මානව හිමිකම් කොමිසමේ සහ ආසියානු නීති සම්පත් මධ්‍යස්ථානයට සම්බන්ධ වී කටයුතු කරමින් සිටියි. 2001 වසරේ දී මානව හිමිකම් සඳහා වන දකුණු කොරියාවේ ක්වාන්ජු ත්‍යාගයෙන් පිදුම් ලැබූ ඔහු , 2014 වසරේ දී විකල්ප නොබෙල් ත්‍යාගය ලෙස හඳුන්වන සම්මා ජීවන සම්මානයෙන් පිදුම් ලැබීය. ශ්‍රී ලාංකේය නීති විශාරදවරයකු, කවියකු, මානව හිමිකම් ක්‍රියාකාරිකයකු වන හෙතෙම Article 2 සහ Ethics in Action හි සංස්කාරකවරයා මෙන් ම ලේඛකයකු ද වේ.
යහපාලන අරමුණු ඉටු කරගන්න නම් ආණ්ඩුව කටයුතු කළ යුත්තේ කුමන ආකාරයටද?
පෙර දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවෙන්නේ ඇයි? ආදී ප්‍රශ්න මිනිසුන්ගේ සිත් තුළ මේ දවස්වල ඇතිවෙලා තිබෙනවා. මේ හැමදේටම හේතුව මේ රටේ නීති ක්‍රමය කඩාවැටී තිබීම. මෙරට නීති ක්‍රමය හදා ගැනීමට විශේෂ වැඩපිළිවෙළක් යොදන්නෙ නැතිව, යහපාලනය ගොඩනඟන්න බැහැ.
මේ වගේ ප්‍රශ්න මිනිසුන් තුළ ඇතිව තිබෙනවා. අඩිය සම්පූර්ණයෙන්ම තැබුවොත් එරෙන නීති ක්‍රමයක් අපට තියෙන්නෙ. මේ නිසා මේ නීතිය වෙනස් නොකර යහපාලනය කරන්න හැකියාවක් නෑ. මේ නීතිය දවසින් දෙකෙන් හදන්න බෑ.ඒත් කෙටි කාලයකින් එය සකසන්න පුළුවන්.
නූතන ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ දී යල්පැනගිය නීතිය ක්‍රියාත්මක වීම නවීකරණයට බලපාන්නෙ කොහොමද?
ඒක නවීකරණයට විශාල බාධාවක්. අපරාධ පරීක්ෂණ ක්‍රම නවීකරණයට ලක් කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් ගත්තහම ඉතිහාසයක් තිබෙනවා. 19 වැනි සියවසේ යුරෝපය පුරා මේ නවීකරණය ඇරැඹිලා අමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බොහෝ රටවලට මෙය පැතිරුණා. එම නවීකරණයේ හරය බවට පත්වුණේ, අපරාධ පරීක්ෂණය විද්‍යාත්මක වියයුතු යි කියන එකයි. විද්‍යාත්මකව ඔප්පු කරන්න බැරි කිසිම කරුණක් සත්‍ය කරුණක් විදිහට සලකන්න බැරි බව නවීකරණය පිළිබඳ ප්‍රධාන කරුණක්. ඒත් ශ්‍රී ලංකාව තුළ වධහිංසාව පදනම් කරගෙන තමයි අපරාධ පරීක්ෂණ පැවැත්වෙන්නේ. මේ මඟින් පෙනී යන්නේ, ශ්‍රී ලංකාවේ දැනට පවත්නා පොලිස් ක්‍රමය නූතන යුගයට නොගැළපෙන, යල්පැන ගිය ක්‍රමයක් බවයි. ඒ නිසා මෙරට පොලිසියේ පවත්නා මේ තත්ත්වය ඉක්මනින් ම වෙනස් කරන්න ඕනෑ. නීතිමය වෙනසකට හැකි ඉක්මනින් යන්න ඕනෑ.
වෙනත් රටවල් සලකා බැලීමේ දී ශ්‍රී ලංකා පොලිසිය මෙවන් තත්ත්වයකට පත්වීමට බලපෑ හේතු සාධක ලෙස ඔබ දකින්නෙ කුමන හේතු කාරණාද?
දේශපාලනීකරණය වීම වගේම අප කාටත් පරිබාහිරව සිදුවූ විවිධ හේතු කාරණා මේ තත්ත්වයට සෘජුවම බලපාලා තිබෙනවා. විශේෂයෙන්ම 1987 වසරෙන් ඇරැඹි දකුණේ ජේ.වී.පී. කලබල වගේම දශක තුනක් පැවැති ත්‍රස්තවාදී ප්‍රශ්නය, පොලිසිය මෙවන් තත්ත්වයකට පත්වීමට බලපාලා තිබෙනවා. මේ අවස්ථා දෙකේදීම හමුදා කටයුතු සඳහා පොලිසිය යොදා ගැනීම නිසා පොලිසියට අගතියක් වුණා.
1971 වසරේ සිටම ලංකාව ඉගෙන ගත්ත එක පාඩකමක් තමයි, අභ්‍යන්තර ආරක්ෂාවට උපාය මාර්ග අත්‍යාවශ්‍ය බව. නිදහස ලබද්දී 6000ක් 8000ක් වගේ හමුදා බලයක් අපට තිබුණේ. ඒ කාලේදී අවශ්‍යතාවක් වුණොත්, පිටරැටියන් තමන්ට අවශ්‍ය හමුදා බලය ඔවුන්ගේ මවු රටෙන් ගෙන්වා ගත්තා. මේ රටේ සිටි හමුදා නිලධාරීන් නිදහස් උත්සවයේ පෙළපාළි සඳහා සහ වැඩ වර්ජන, උද්ඝෝෂණ වැනි අවස්ථාවලදී පමණයි යොදා ගත්තෙ. අභ්‍යන්තර කැරලි වැනි අවස්ථාවලදී හමුදා නිලධාරින්ගෙ මදකම නිසා පොලිසිය යොදා ගැනීමට සිදුවුණා. මේ නිසා පොලිසිය මිලිටරිකරණය වුණා. ඒ නිසා විනයගරුක සිවිල් පොලිසියක් සකසා ගැනීම බැරෑරුම් කාර්යයක් බවට පත් වුණා. ඒකට හේතුව අප පාලනය වුණේ වැඩවසම් ක්‍රමයකට නිසා , විනයකට වැඩ කිරීම පිළිබඳ අවධානයක් නොපැවතීමයි.
පොලිස් අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ගේ මානව අයිතිවාසිකම් බිඳෙන බවට නිරතුරුවම චෝදනා නැගෙනවා. මේ පිළිබඳ ඔබේ අදහස මොකක්ද?
ඒ සම්බන්ධයෙන් විවිධ අදහස් මතුවෙනවා. හිටපු විදේශ කටයුතු ඇමැතිවරයකු වුණ ලක්ෂ්මන් කදීර්ගාමර් මහත්මයා පවා එක්සත් ජාතීන්ගේ මණ්ඩලය ඉදිරියේදීම ශ්‍රී ලංකාවේ පොලිස් වධහිංසා පිළිබඳ ප්‍රශ්නයක් තිබෙන බව පිළිගෙන තිබෙනවා. අපට දැනගන්නට ලැබුණු සැබෑ කතාවලින් පැහැදිලි වුණේ ශ්‍රී ලංකාවේ සියලු ම පොලිස් ස්ථානවල වධහිංසාව දෛනිකව සිදුවන්නක් බවයි. මින් පැහැදිලි වෙන්නේ අතිශයින් ම පසුගාමී අපරාධ පරීක්ෂණ ක්‍රමයක් ශ්‍රී ලංකාව තුළ පවත්නා බවයි.
කටඋත්තර ලබා ගන්නවා කියා පොලිසියට විවිධ පුද්ගලයන් රැගෙන යනවා. ඒත් අවසානයේ අත්අඩංගුවට ගන්නවා. වැරැදිකරු කියා චෝදනා නැතත් පොලිසියේදී ඒ අයට ගහනවා. වධහිංසා පමුණුවනවා. මේ තත්ත්වය ඔබ දකින්නේ කොහොමද?
මිනිසකුට පහරදීම අංගසම්පූර්ණ නීති විරෝධී වැඩක්. මහරගම පොලිසිය හා සම්බන්ධ එක්තරා සිදුවීමකදී ලෝකයේ සිටින නරකම පුද්ගලයාටවත් ගහන්න අයිතියක් නෑ කියලා එම නඩුවවේදී විනිසුරු පවසා සිටියා. 1948 මානව හිමිකම් ප්‍රඥප්තියට අනුවත්, ඊට පසුව ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය මඟිනුත් මෙය තහවුරු කළා. මේවා සඳහා ශ්‍රී ලංකාව අත්සන් තබලා තිබෙනවා. ඒ වගේම 1994 අංක 22 දරන වධහිංසනය හා අමානුෂික හා කෲර ක්‍රියා වැළැක්වීමේ ප්‍රඥප්ති පනත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සම්මත කළා. මේ නීතිය අනුව කිසි ම රාජ්‍ය නිලධාරියකුට, කිසි ම පුද්ගලයකුට ශාරීරික හෝ මානසික වධහිංසා පැමිණවීමට හැකියාවක් නෑ. එසේ කිරීම අනිවාර්ය අවුරුදු හතක දඬුවමක් ලැබිය යුතු වරදක්.
දැන් බලන්න මූල්‍ය අපරාධ පරීක්ෂණ සදහා පැමිණෙන කිසි ම පුද්ගලයකුට පොලිසියෙන් ගැහුවා කියලා කවුරුත් කියන්නේ නෑනේ. ඔවුන්ට විරුද්ධව වධහිංසාව පාවිච්චි නොවීමෙන් පැහැදිලි වෙන්නේ වධහිංසාවෙන් තොරව වුණත් පරීක්ෂණ පැවැත්වීමේ හැකියාව තිබෙන පොලිස් පරීක්ෂකවරුන් ශ්‍රී ලංකාවේ සිටින බවයි. ඒකට හේතුව ඒ සදහා යොමුකර සිටින පුද්ගලයන් අපරාධ පරීක්ෂණය සඳහා පුහුණුවක් ලැබූවන් වීමයි.
පොලිසියෙ වුණත් පහළට යන්න යන්න අපරාධ පරීක්ෂණය පිළිබඳ නිසි පුහුණුව නැති පුද්ගලයන් සිටින්නේ. මේ නිසා මේ රටේ සිටින පොඩි මිනිහා තැලෙනවා. මෙහෙම වෙන්න හේතුව මිනිහෙක් ප්‍රශ්නයක් ඇහුවහම උත්තරයක් දෙන්න මේ නිලධාරීන්ට හැකියාවක් නැති වීමයි. තමන් පොලිස් අත්අඩංගුවට ගන්න හේතුව මොකක්ද කියා අසන්නවත් මේ නිසා සැකකරුවකුට හැකියාවක් නැතිවෙලා. එහෙම ඇහුවත් මේ අය මිනිස්සුන්ට ගහනවා. වර්තමාන ලෝකයේ සිදුකෙරෙන කිසිම වැදගත් කටයුත්තකදී නුපුහුණු ශ්‍රමිකයන් යොදාගන්නේ නෑ. ඒත් ශ්‍රී ලංකාව තුළ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්.මින් සනාථ වෙන්නේ ශ්‍රී ලංකාවේ පොලිස් ස්ථාන මඟින් කෙරෙන බොහෝ පරීක්ෂණ වැදගත්කමකින් හෝ බරපතළ කමකින් යුතුව කරන ඒවා නොවන බවයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයන්ට පහරදීම සඳහා පොලිසිය තුළදී වගේ ම වෙනත් ස්ථාන කරා පුද්ගලයන් ගෙනගොස් වධහිංසා පමුණුවන බව පැවසෙනවා. මේ සඳහා පවත්නා නීතිමය තත්ත්වය පිළිබඳ පැහැදිලි කළොත්?
පුද්ගලයකු රඳවා ගැනීම සඳහා නිල වශයෙන් ඉඩදී තිබෙන ස්ථාන විදිහට හඳුන්වා දී තිබෙන්නේ පොලිසිය සහ බන්ධනාගාරය යන ස්ථාන පමණයි. වෙනත් ස්ථානවලට ගෙන යාමට කිසිසේත් ම හැකියාවක් නෑ. බලෙන් අතුරුදන් කිරීම පිළිබඳ කොමිෂන් සභාවල මේ පිළිබඳ කතාකර තිබෙනවා.මේ ආකාරයට පොලිසිය කටයුතු කරනවා නම්, එය සම්පූර්ණයෙන් ම නීති විරෝධී ක්‍රියාවක්.
කිසිම අපරාධයකට සම්බන්ධවී නැති පුද්ගලයන් පොලිස් අත්අඩංගුවේදී බරපතළ වධහිංසාවලට ලක්වෙනවා. මේ තත්ත්වය පිළිබද කතා කළොත්?
අහිංසකයන්ට පහරදී ඔවුන්ගෙන් බලෙන් කටඋත්තර ගැනීමත්, සැකකරුවන් අල්ලාගත්තා යැයි මාධ්‍ය මඟින් විශාල ලෙස ප්‍රචාරය දීමත් වර්තමානයේදී සිරිතක් බවට පත්වෙලා. මේ නිසා අහිංසකයන් අමාරුවේ වැටෙනවා පමණක් නෙමෙයි, මුළු අධිකරණ ක්‍රමයම නොමඟ යැවෙනවා. සේයා සදෙව්මි ඝාතනයේදී මේ තත්ත්වය හොඳින්ම පැහැදිලි වුණා. මේ මඟින් පැහැදිලිවෙන්නේ අපරාධ පරීක්ෂණයේ නාමයෙන් නොහොබිනා ක්‍රියාවලියක් නිතරම සිදුවන බවයි. එය රටේ අපරාධ මර්දනයට හෝ රටේ සාමයට අගතියක් කරනවා මිසක්, කිසිම ආකාරයකින් සාධනීය තත්ත්වයක් ඇති කිරීමක් ලෙස සලකන්න බැහැ.
පවත්නා මේ ක්‍රමය වෙනස් කරන්න නම් කළ යුත්තේ කුමක්ද?
දැනට ශ්‍රී ලංකාවේ පවත්නා පොලිස් ක්‍රමය රටට උචිත එකක් නෙමෙයි. කාටත් හානිකර එකක්. යටත්විජිත යුගයේ ආරම්භ වුණ පොලිස් ක්‍රමය අයර්ලන්ත පොලිස් ක්‍රමය අනුව ආරම්භ වුණ එකක්. ඒ කාලයේදී අයර්ලන්තය යටත්විජිතයක්. යටත් විජිත මානසිකත්වයකින් යුක්ත රටක පුහුණුකරුවන් විසින් ලබාදුන් පොලිස් ක්‍රමයක් මඟින් යහපත් පොලිස් පද්ධතියක් ඇති කරන්න හැකියාවක් ලැබෙන්නේ නෑ.
1832 දී ලන්ඩන් මැට්‍රොපොලිටන් පොලිස් නමින් පිහිටුවා ගනු ලැබූ පොලිස් ක්‍රමයේ අරමුණ වුණේ, වේගයෙන් ප්‍රජාතන්ත්‍රවාදය කරා යන රටකට ගැලපෙන පොලිස් ක්‍රමයක් ලබා ගැනීමයි. ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සිද්ධ වෙන්නේ කැමැත්ත මතයි. එහෙම නැතිව මර්දනය මත නෙමෙයි. ඒත් අපේ රට ඒ වගේ ක්‍රමයකට ගියේ නෑ. නිදහසින් පස්සේ වුණත් මර්දනය තේමා කරගත් පොලිස් ක්‍රමය නැති කරලා, ප්‍රජාතන්ත්‍රවාදයත්, පුද්ගලික නිදහසත් සුරැකෙන ආකාරයට පොලිසිය පරිවර්තනය කර නොගැනීම නිසා අද වනවිට අප ප්‍රශ්න ගොඩකට මැදිවෙලා.
අපරාධ පරීක්ෂණය සහා පුහුණුවක් නැතිවුණහම තමයි සැකකරුවන් ලෙස රැගෙන යන පුද්ගලයන්ට ගහලා තොරතුරු සොයාගැනීම කරන්නේ. මේ නිසා නිලධාරීන්ට නිසි පුහුණුවක් ලබාදීම අත්‍යවශ්‍යයි. අද වනවිට තාක්ෂණික පහසුකම් සහිතව අපරාධකරුවන් සොයා ගැනීමේ හැකියාව පවතිනවා. මේ නිසා දියුණු තාක්ෂණික ක්‍රම යොදා ගනිමින් අපරාධකරුවන් සොයා ගැනීමේ ක්‍රම සඳහා අප යොමුවිය යුතුයි.
අද පවත්නා තත්ත්වය අනුව මහාපරිමාණ පොලිස් පෙරළියක් අවශ්‍යයි. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට හා ජනතාවට නොගැළපෙන පොලිස් ක්‍රමයක් නිසා කාලාන්තරයකම ඉඳන් ජනතාව බැටකෑවා. මේ නිසා පොලිස් ක්‍රමය වෙනසකට යා යුතුයි.
අද වනවිට ශ්‍රී ලංකාව තුළ නඩු පමාවීම පිළිබද ගැටලුවක් තිබෙනවා. මේ ආකාරයට නඩු පමාවීම සමාජයට බලපාන්නේ කොහොමද?
නඩු පමාවීම අපේ රටේ තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක්.මේනිසා අපරාධකාරයන්ගේ බය නැතිවී තිබෙනවා. සාක්කිකරුවන් පළවාහරින්න වගේම, ඔවුන් තමන්ට අවනත කර ගන්නත් මේ නිසා අපරාධකරුවන්ට හැකිවී තිබෙනවා. මේ නිසා යුක්තිය ඉටු වෙන්නේ නෑ. මිනිසුන් නීතියට බය නැතිවෙලා. මේ නිසා පමාවූ නඩු ඉක්මන් කිරීම සම්බන්ධයෙන් රජයට ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. එය අවුරුදු තුනක් වැනි කාලයකින් විසඳනවා කියා ප්‍රතිපත්තියකට පැමිණිය යුතුයි. ඒත් කිසි ම රජයක් මෙයට අතගහන්න කැමැති නෑ. ඒකට හේතුව රටේ ඉහළින් ම වැජඹෙන පිරිස කැමැත්තක් දක්වන්නේ, නීතිය ක්‍රියාත්මක වෙනවාට පවත්නා අකමැත්ත නිසයි. එහෙම වෙන්න හේතුව ඒ අය නීතියට හසුවීමට තිබෙන සම්භාවිතාව වැඩි නිසයි.
සාකච්ඡා කළේ ඉරෝෂිණී දීපිකා
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment